Wednesday, February 22, 2012

බෙහෙත් අලෙවියට රජයෙන් පාලන මිලක්

සන්ධ්‍යා කරුණාරත්න


ඖෂධ අලෙවිය සඳහා පාලන මිලක් නියම කිරීමට රජය තීරණය කර ඇත. සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන සහ සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්වරුන් මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරි දිනූෂ දසනායක මහතා පැවැසුවේය.
ඉන්ධන මිල හා විදුලි මිල වැඩිවීම නිසා ඖෂධවල ද මිල ඉහළ දැමීමට ඇතැම් ඖෂධ ආනයනකරුවන් සහ පෞද්ගලික ඔසුසල්හිමියන් කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් රජය මෙසේ පාලන මිලක් නියම කිරීමට තීරණය කර ඇති බව ද දිනූෂ දසනායක මහතා ප්‍රකාශ කළේය.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මඟින් වෙළෙඳපොළට සපයන ඖෂධවල මිල ගණන් ඉහළ නොදැමීමටත්, එමඟින් සංස්ථාවට සිදුවන පාඩුව ඔවුන් ලබන ලාබයෙන් පියවා ගැනීමටත් සංස්ථාව තීරණය කර ඇතැයි ද ඒ මහතා පැවැසීය.වෙළෙඳපොළේ මිල පාලනය පිළිබඳ කටයුතු කළ හැක්කේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පමණක් වුව ද ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ජාතික ඖෂධ පනත මඟින් ජාතික ඖෂධ අධිකාරියට ඖෂධවල මිල සම්බන්ධයෙන් මැදිහත් විය හැකි බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා සඳහන් කළේය.
මේ වන විටත් ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳ අධිකාරිය උපරිම ආකාරයෙන් කටයුතු කරන නිසා ඉදිරියේදී සම්මත වීමට නියමිත ජාතික ඖෂධ පනත මඟින් ඖෂධවල මිල සම්බන්ධයෙන් ද ඍජුවම මැදිහත්වීමට අවසර ලැබෙනු ඇතැයි ද මේ හේතුවෙන් ජනතාවට සහන මිල ගණන් යටතේ ගුණාත්මක බවෙන් යුත් ඖෂධ ලබාදීමට කටයුතු කළ හැකි යැයි ද වෛද්‍ය බෙනරගම මහතා පැවැසීය.

dinamina.-2012/02/22

No comments:

Post a Comment