Wednesday, February 22, 2012

වකුගඩු රෝගීන් 800 ක ජීවිත අනතුරේ..!

February 22, 2012 10:04 am

වකුගඩු බද්ධ කිරීම සිදු කළ රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් පවතින බව වකුගඩු රෝගීහු පවසති.

මාස කිහිපයක සිට මෙම ඖෂධය මහනුවර මහ රෝහලේ නොමැති වීමෙන් තමන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව ඔවුන් විසින් පෙන්වා දෙනු ලබයි.

වකුගඩු රෝගීන්ගේ සුබසාධක සමිතියේ ප්‍රකාශකයෙකු කියා සිටියේ මේ පිළිබඳ අදාළ බලධාරීන්ට කොතෙක් දැනුවත් කළ ද මේ වන විටත් නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.

වකුගඩු බද්ධ කළ පසු එය ශරීරයෙන් ප්‍රතික්ෂේපවීම වැළැක්වීම සඳහා"සයික්ලෝස්පෝරීන්" ඖෂධය අඛණ්ඩව ලබාදිය යුතු වුවත්,මාස 6 ක පමණ කාලයක් තිස්සේ මහනුවර මහ රෝහලේ රෝගීන් 800 ට පමණ මෙම ඖෂධය නොලැබීම නිසා ඔවුන් ජීවිත අවදානමකට ලක්වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මෙම ඖෂධ ආනයනය සඳහා ප්‍රතිපාදන වෙන් කර තිබුණද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් බාල වර්ගයේ භාවිතයට නුසුදුසු ඖෂධ ගෙන්වීම නිසා මිලියන ගණනක අලාභයක් සිදුව ඇති බවත්,එසේම අදාළ ඖෂධය තවත් මාස දෙකකට අධික කාලයක් යන තෙක් යළි ඇණවුම් කොට ගෙන්වීමට නොහැකි වනු ඇති බවට අදාළ අංශ ප්‍රකාශ කළ බව වකුගඩු රෝගීන්ගේ සුබ සාධක සමිතියේ ප්‍රකාශකයා අද දෙරණට කියා සිටියේය.

මේ අතර රජයේ රෝහල් බොහෝමයක එන්නත් කටු ඇතුළු අත්‍යවශ්‍ය මෙවලම් බොහොමයක හිඟයක් පවතින බව සමස්ත ලංකා සුවසේවා සංගමයේ සභාපති ගාමිණි කුමාරසිංහ මහතා පවසයි.

තවද කුලියාපිටිය රෝහලේ ද ඖෂධ හිඟයක් පවතින බවට අදාළ රෝහල් පරිපාලනය තමාට දැන් වූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

adaderana.lk

No comments:

Post a Comment