Thursday, February 2, 2012

හෙද ප්‍රශ්න විසඳීමට අවශ්‍ය චක්‍රලේඛන නිකුත් කරන්නැයි නිලධාරීන්ට උපදෙස්

සිතාරා සේනානි
හෙද සේවාවට බලපාන ප්‍රධාන ප්‍රශ්න දොළහකට පිළිගත හැකි ආකාරයේ කඩිනම් විසැඳුම් ලබා දීමට මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා එකඟවූ බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති. මීට අදාළ චක්‍රලේඛ කඩිනමින් නිකුත් කිරීමට පියවර ගන්නැයි මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා නිලධාරීන්ට උපදෙස් දුන් බව ද උන්වහන්සේ පැවැසූහ.
හෙද සේවාවට බලපා ඇති ගැටලු රැසකට විසැඳුම් ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පෙරේදා (1) පැවැත්වූ සාකච්ඡාවේදී මෙසේ එකඟත්වය පළවූ බව ද උන්වහන්සේ පැවැසූහ. හෙද සේවාවේ වෘත්තීය ඉල්ලීම් රැසක් එකවර ජයග්‍රහණය කළ එකම සාකච්ඡාව මෙය බව ද ආනන්ද හිමියෝ සඳහන් කළහ. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය නාරාහේන්පිට අභයාරාමයේ ඊයේ (2) පැවැත්වූ මාධ්‍ය හමුවේදී උන්වහන්සේ මේ බව පැවැසූහ.

නව හෙද සේවා ව්‍යවස්ථාව වහාම ක්‍රියාත්මක කොට සේවා උසස්වීම් ලබාදීම, 06/2006 චක්‍රලේඛය හේතුවෙන් ඇතිවී ඇති වැටුප් විෂමතාව ඉවත් කිරීම, නිල ඇඳුම් දීමනාව වැඩි කිරීම, අමතර දීමනා රේට් ගණන මත වැඩි කිරීම, වෛද්‍ය සේවාවට ලබා දී ඇති දුරකථන දීමනා හෙද සේවයටත් ලබා දීම. මාණ්ඩලික ශ්‍රේණිය පිළිබඳ ගැටලු පැහැදිලි කරදීම, හෙද කාර්ය මණ්ඩලයට තීරුබදු සහිත වාහන ණය ලබා ගැනීම හෝ වාහන ණය ලබා ගැනීම, ගුරු සේවාවක් ස්ථාපිත කරන තුරු යෝජිත දීමනා හා හෙද ආචාර්යවරුන් සඳහා පැය 36ක සේවාව අනුමත කිරීම, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හෙද තනතුර වහාම ස්ථාපික කිරීම, ස්වාධීන ආයතනයක් ලෙස හෙද උපාධි ආයතනය ස්ථාපිත කිරීම, හෙද පුහුණු කාලය වසර හතර දක්වා දීර්ඝ කිරීම, ප්‍රජා සෞඛ්‍ය හෙද තනතුර වහාම ස්ථාපිත කිරීම යන ප්‍රධාන ගැටලු පිළිබඳ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟ සාකච්ඡා කළ බවද ආනන්ද හිමියෝ පැවැසූහ.

කෙසේ වෙතත් මෙසේ එකඟ වූ තීරණ ලබන මාර්තු මස 1 වැනිදා වන විට, ක්‍රියාත්මක නොකළහොත් මාර්තු 2 වැනිදා සිට වෘත්තීය අරගලයක් ක්‍රියාත්මක ඛ්ලමට පියවර ගන්නා බව තම සංගමය මෙහිදී පහදා දුන් බවත් උන්වහන්සේ සඳහන් කළහ. දැනට මාණ්ඩලික ශ්‍රේණියක් ලෙස සම්මත වී ඇති හෙද සේවාව එලෙසම සලකා ක්‍රියාත්මක විය යුතු බවට මේ සාකච්ඡාවේදී සෞඛ්‍ය ලේකම්වරයාට උපදෙස් දුන් බව ද කීහ.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය හා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරු ද, ජාතික වැටුප් හා සේවක කොමිෂන් සභාව හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ද සහිභාගි වූහ.

Dinamina 2012.02.03

No comments:

Post a Comment