Sunday, February 26, 2012

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සමග අපි කථා කළා..

අසරණ වී රෝගාතුර වු මිනිසත් ජීවිත රැක ගැනිම උදෙසා දිවා රෑ නොලබා වෙහෙසන හෙද නිලධාරීන්ගේ අයිතීන් වෙනුවෙන් නිබදව හඩනගන වෘත්තිය සමිති නායකයෙකු වන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සමග අපි සුහද පිළිසදරකට එක්වුණා.

අපි මුලින්ම දැන ගන්න කැමතියි, ඔබ වෘත්තිය සමිති දිවියට සම්බන්ධ වුණේ කියලා දැනගන්න?

මම මුලින්ම හෙද පුහුණුව සදහා පැමිණියේ 1989 වර්ෂයේදී. 1993 වර්ෂයේදී මං හෙද නිලධාරියෙකු ලෙස රැකියාවට සම්බන්ධ වුණා. එලෙස සේවය කරමින් සිටියේදී වෘත්තිය සමිති කටයුතු සදහා සම්බන්ධ වෙලා එවකට පැවති ඇතැම් වෘත්තීමය අර්බුද මුල් කරගෙන වෘත්තිය සමිති ක්‍රියාකාරියෙකු බවට පත්වෙනවා. 1988-1989 කාලයේ දී වර්ජන, අරගලවල වැඩ කළා. 1996 වර්ෂයේ තමයි අපි වෘත්තිය සමිතියක් පිහිටුවා ගන්නේ. එහි නායකයා බවට මං පත්වෙනවා.

ඔබලා මෑතකදී ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පිහිටුවා ගන්නවා. මෙයට හේතුව කුමක්ද?

දැන් මෙහෙමයි, අපි හෙද නිලධාරින්ගේ අයිතින් වෙනුවෙන් සටන් කරන්න රජයේ හෙද නිලධාරින්ගේ සංගමය පිහිටුවාගන්නේ 1996 වර්ෂයේදී. අපි තේරැම්ගත් කරැණක් තමයි එක් පාර්ශවයක් පමණක් අයිතින් දිනාගැනිමේ කිසිදු ප්‍රයෝජනයක් නැති බවයි. එමෙන්ම තනිව හුදකලාව වෘත්තිය සමිති අරගල දියත් කරන්න බෑ. විශේෂයෙන්ම ආණ්ඩු කටයුතු කරන්නේ එකමුතුව මෙන්ම හාම්පුතුන් සමග එකතුවෙන්. මෙම නිසා අපි අපේ අයිතින් දිනාගැනිම සදහා කේවල් කරන්නේ ආණ්ඩුව සමග නැතිනම් මෙරට හාම්පුතුන් සමග. ඒ නිසා විශාල කණ්ඩායමක් සමග සටන් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපිට සහයෝගයෙන් කටයුතු කරන්න සිදු වෙනවා. හෙද නිලධාරින්ගේ වෘත්තිය සමිතියක් ලෙස අපි සහයෝගයෙන් කටයුතු නොකලොත් අපේ අයිතින් දිනා ගන්න අපිට බැරි වෙනවා. ඒ නිසා අපි රාජ්‍ය අංශ විදියහටත් පෞද්ගලික අංශය විදියහටත් ජාත්‍යන්තර මට්ටමෙන් සංවිධානය වෙන්න ඕනේ. එහෙම වුණොත් පමණයි අපේ අයිතින් දිනා ගන්න අපිට හැකිවෙන්නේ. පැවති ආණ්ඩු මෙන්ම පවතින ආණ්ඩුද අධිකරන ක්‍රියාමාර්ග මගින් වෘත්තිය සමිති මර්දනය කළා.

අපි අගෝස්තු 04 කියලා සංවිධානයක් පිහිටුවිමට කටයුතු කළා. ඉන් අනතුරුව රාජ්‍ය අංශයේ වැටුප් ප්‍රශ්නයට විසදුම් ලබා ගැනිම සදහා රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචන කමිටුව නිර්මාණය කළා. සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානය පිහිටුවා ගත්තා සෞඛ්‍ය සේවයේ පවතිනු ලබන වැටුප් ප්‍රශ්න විසදිමට. 2003 වර්ෂයේ වෘත්තිය සමිති 53 ක් එකතුවෙලා වෘත්තිය සමිති සන්ධානය පිහිටුවා ගැනිමට කටයුතු කළා. ඉන් අනතුරුව 2008 වර්ෂයේ දි වෘත්තිය සමිති මහා සම්මේලනය පිහිටුවා ගැනිමට පියවර ගත්තා. එය වෘත්තිය සමිති 14 කින් සමන්විතයි. රාජ්‍ය ,අර්ධ රාජ්‍ය, පුද්ගලික වශයෙන්. ඔබ කියන වෘත්තිය සමිති සන්ධානය පිහිටුවාගත්තේ පෞද්ගලික අංශයේ විශ්‍රම වැටුප් ක්‍රමයට එරෙහිව. මේ වෘත්තිය සමිති එකමුතුව සදහා හෙද, ජල,විදුලි, අධ්‍යාපන, ඇගළුම් යන වෘත්තිය සමිති ඒකරාශිවි පිහිටුවා ගත්ත සංවිධානයක්..

ඔබලා පසුගිය කාලය පුරාම හෙද ව්‍යවස්ථාව සංශෝධනය කරන්න කියලා හඩ නැගුවා. නමුත් එය ක්‍රියාත්මක වුණේ නෑ නේද ? කොහොමද එහි වර්තමාන තත්ත්වය?

ආණ්ඩුව හෙද සේවයට පළමු වරට හෙද ව්‍යවස්ථාව හදුන්වා දුන්නේ 1984 වර්ෂයේදි. හෙද සේවාව කියන්නේ විද්‍යාවක්. මෙම විද්‍යාව කාලයත් සමග ලෝකයේ දියුණුවත් සමග දියුණු වෙනවා. නමුත් මෙය 1984 පස්සේ සංශෝධනය වෙලා නෑ. මේක බරපතල තත්ත්වයක්. හෙද සේවාව කියන්නේ ජනතාව සමග බද්ධවුණ රස්සාවක්. වෛද්‍ය සේවාව හා හෙද සේවාව කියන්නේ ලෝකයේ වැදගත්ම වෘත්තින් දෙක. එය ලෝකයේ දියුණුවත් සමග සංවර්ධනය වෙන්නේ නැත්නම් එය පවත්වාගෙන යන්න බෑ. රෝගි සත්කාරය දියුණුවෙන්න නම් කාලයත් සමග හෙද සේවාව දියුණු වියයුතුයි. ආණ්ඩුව හා බලධාරින් සිතන්නේ මුදල් වෙන් කල පමණින් සෞඛ්‍ය කේෂ්ත්‍රය දුවන්න පුළුවන් කියලා. කොහොම වුණත් හෙද ව්‍යවස්ථාව 2010 පසුව සංශෝධනය කරලා නෑ.

අපි දිගින් දිගටම බල කළ නිසා වත්මන් විෂයභාර ඇමතිවරයා ව්‍යවස්ථාව සංශේධනය කළා. හැබැයි ඒ සංශෝධනයේදි අපි යෝජනකල යෝජනාවලින් සියයට 75 ක්ම නොසලකා හැරියා. ඒ නිසා පරණ ව්‍යවස්ථාවට සාපේක්ෂ ව්‍යවස්ථාවක් තමයි අන්තිමේදී නිර්මාණය වුණේ. මේ නිසා අපි කියන්නේ හෙද ව්‍යවස්ථාව නැවත සංශෝධනය කරන්න කියලා.

හෙද ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට නොහැකිවි තිබෙන්නේ හෙද සභාව පිහිටුව ගැනිමට නොහැකිව තිබෙන නිසා නේද?

නෑ, හෙද ව්‍යස්ථාවයි, හෙද සභාවයි කියන්නේ දෙකක්. හෙද සභාව කියන්නේ මුලික කාරණා කීපයක් මුල්කරගෙන් ක්‍රියාත්මක වන්නක්. හෙද නිලධාරින් ලියාපදිංචි කිරිම,වෘත්තියට අදාළ විනය පාලනය වන ආකාරය, වෘත්තිය සංවර්ධනය වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කිරිම වැනි කටයුතු තමා මෙහි සිදු කරනු ලබන්නේ. නමුත් හෙද ව්‍යවස්ථාව මගින් සිදු කරනු ලබන්නේ පරිපාලන කටයුත්තක්. ඒ නිසා මේ දෙක දෙකක්. මේ දෙකම හරියටම කෙරෙන්නේ නෑ. හෙද සභාව වංචාකාරි ලෙස ක්‍රියාත්මක වුණේ. ආණ්ඩුවටයි, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයට වුවමනා වුණේ වංචාකාරීව හා දුෂිතව මෙම සභාව පවත්වාගෙන යන්න. ලංකාවේ හෙද නිලධාරින් ඉන්නවා 23000 ක් විතර. නමුත් හෙද සභාවට ඡන්දය දෙන්න ඉඩ දුන්නේ 7100 විතරයි. එතකොට 2/3 ම ඡන්දය අහිමි කළා. 1/3 විතරයි ඡන්දය දෙන්න අවස්ථාවක් ලබා දුන්නේ නෑ. ඒ සම්බන්ධව අපි උසාවියේ නඩුවක් දැම්මා. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ හෙද සභාවත් හරියටම ක්‍රියාත්මක වෙන්නේ නෑ.

මම ඔබට චෝදනා කලොත් ඔබයි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන් අතර පවතින විරසකය නිසා හෙද සභාව හා හෙද ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙන්න බැරිවෙලා තියෙන්නේ කියලා?

ඔව්, මෙහෙමයි සමිති දෙක අතර පරස්පර විරෝධි අදහස් තියෙන්න පුළුවන්. නමුත් සෞඛ්‍ය බලධාරින්ගේ වගකීමක් තමයි අපි දෙපිරිසේම ධනාත්මක හා සංවර්ධන යෝජනා අරගෙන ක්‍රියාත්මක කරන්න. ඒකට තමයි බලධාරින් ඉන්නේ. අපි ඉන්නේ අදහස් දෙන්න. හෙද ව්‍යවස්ථාව සදහා ජනතාවගේ අදහස් ගන්නත් ඕනේ. මොකද ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන සේවාවක් නිසා. නමුත් මම එක උදාහරණයක් කියන්නම්.... හෙද උපාධිය සම්බන්ධව බරපතල ගැටළුවක් තියෙනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හෙද උපාධිධාරින් පිටවුණා. යාපනය, පේරාදෙණිය විශ්වවිද්‍යාලවලින් පිටවෙන්න බලාගෙන ඉන්නවා. මෙම උපාධිධාරින් රාජ්‍ය සේවයට බදවා ගන්න කියපුවාම අවුරුදු එකාහාමරක් තිස්සේ බදවගත්තේ නෑ. එය කල්යන්න හේතුව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ විරෝධයටයි. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය උපාධිධාරින් බදවා ගන්න අකමැති වුණාට සෞඛ්‍ය අමාත්‍යංශයට පුළුවන්ද බදවා නොගෙන ඉන්න. මේ රටේ උපාධිධාරින් බිහිකරනු ලබන්නේ මේ රටේ මිනිස්සු. අමාත්‍යංශ ලේකම්වරයාට, අධ්‍යක්ෂ ජනරාල්වරයාට , ඇමතිවරයාට පුළුවන්ද මේ බදවා ගැනිම් සිදු නොකර ඉන්න? රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විරුද්ධයි කියලා බදවා ගැනිම් නොකර ඉන්න පුළුවන්ද?

උතුරු නැගෙනහිර පළාත් සදහා කලා,වානිජ සමත් අය හෙද නිලධාරින් ලෙස බදවා ගැනිමට පියවර ගත්තා මේ කටයුත්ත සදහා ඔබ සංගමය දැඩි විරෝධයක් පල කර සිටියා ඇත්තටම එයට හේතුව කුමක්ද?

ඔව්, අනිවාර්යෙන්ම ඒක බරපතල කාරණයක්. උතුරු නැගෙනහිර පළාත් සදහා කලා,වානිජ සමත් අය හෙද නිලධාරින් ලෙස බදවාගත් දෙවන අවස්ථාව මේක. නිමල් සිරිපාල ඇමතිවරයා එක අවස්ථාවකදීත් මෛත්‍රිපාල සිරිසේන ඇමතිවරයා එක අවස්ථාවකදිත් බදවා ගැනිම සිදු කළා. තව ඇමතිවරයෙක් ආවොත් තව අවස්ථාවක බදවා ගනී. ඇත්තෙන්ම උතුරු නැගෙනහිර හෙද හිගයක් පවතිනවා. යාපනය ශීක්ෂණ රෝහලට 1300 ක හෙද පිරිසක් අවශ්‍යයි. නමුත් ඉන්නේ 384 යි. නිලධාරින් 900 ක් අඩුයි. මේ තත්ත්වය තුළ රෝහල් පවත්වාගෙන යන්න බෑ. නැගෙනහිර පළාතෙත් එහෙමයි, දකුණු පළාතෙත් තත්ත්වය එසේමයි. නිමල් සිරිපාල ඇමතිවරයා අවුරුදු දෙකකට එක් කණ්ඩායමක්වත් බදවා ගත්තේ නෑ. ඒකයි හෙද හිගයට ප්‍රධාන හේතුව.

හෙද සේවාවට 75% බදවාගන්නේ ගැහැණු අය. 5% ක් පමණයි පිරිමි නිලධාරින් බදවා ගන්නේ. අපි කිව්වා පළමු පියවර වශයෙන් 20% ක පිරිමි නිලධාරින් බදවා ගන්නා ලෙස. නමුත් එයට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විරුද්ධයි.

වර්තමානයේ හෙද සේවාවේ පවතින ගැටළු මොනවාද කියලා පැවසුවොත්?

විශාල ප්‍රමාණයේ ගැටළු රාශියක් තියෙනවා. හෙද ව්‍යවස්ථාව සම්බන්ධ ප්‍රශ්ණත් තියෙනවා,හෙද උපාධිධාරින් සේවයට බදවාගෙන නෑ, හෙද සේවයට හරියාකාරව වැටුප් හා දීමනා ලබා දෙන්නේ නෑ, ස්ථාන මාරු මණ්ඩලය ක්‍රියාත්මක වෙන්නේ නැ, අඩුමගානේ සුහද ස්ථානමාරු ලබා දෙන්නෙත් නෑ, ඒක යෝජනා කරලා තියෙන්නේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ. අලුත් හෙද ව්‍යවස්ථාවට අනුව උසස්වීම් ලබා දෙන්නේ නෑ. අනෙක් කාරණය තමයි අපි කිව්වා හෙද සේවය සදහා බදවා ගන්නා පිරිමි නිලධාරින් වැඩි කරන්න කියලා නමුත් එය සිදු කළේ නෑ, එමෙන්ම තීරු බදු රහිත වාහන දෙනවා රාජ්‍ය සේවයේ අති බහුතරයකට. නමුත් සෞඛ්‍ය සේවයේ ඉන්නවා හෙද අධ්‍යක්ෂකවරියන් තුන්දෙනෙක් ඒ තුන්දෙනාටම තීරු බදු රහිත වාහන දිලා නැ. සෞඛ්‍ය ලේකම්වරයාටත්, අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් මේවා තේරෙන්නේ නැත්තේ ඇයි කියලා තමයි අපිට තියෙන ප්‍රශ්නේ. මේ නිසා අපි කියන්නේ මේ අසාධාරණය වාහාම නවත්තන්න, අපට සාධාරණයක් ඉටු කරන්න කියලා.

ගැටළු රාශියක් තිබිලත් බලධාරින් විසදුම් ලබා නොදි සිටින්නේ ඇයි?

එකක් තමයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් තුළ තිබෙන අකාර්යක්ෂමතාවය හා ඔවුන්ගේ ආකල්ප පිළිබද ප්‍රශ්නය. විසදන්න පුළුවන් ප්‍රශ්නවත් විසදන්නේ නෑ. වර්තමාන සෞඛ්‍ය ඇමතිවරයාට ආකල්පයක් තියෙනවා සෞඛ්‍ය කේෂ්ත්‍රය දියුණු කරන්න. නමුත් අමාත්‍යංශය එයට ඉඩ දෙන්නේ නෑ. හොදම උදාහරණය තමයි පිරිමි නිලධාරින්ගේ නිල ඇදුම් සම්බන්ධව මේ දක්වා චක්‍ර ලේඛණයක් නිකුත් කරලා නෑ. වෘත්තිය සමිති නායකයින්ට හැදුනුම්පතක් දෙන්න කියලා අමාත්‍යංශයට කිව්වා, නමුත් අපට ලබා දුන්නේ අවුරුදු එකහමාරකට පස්සේ. සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දිය යුතු හා ලබා දි ඇති දේවල්ද කප්පාදු කිරීමට කටයුතු කරනවා.

රාජ්‍ය සේවකයින් මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයින්ද බලාපොරොත්තුවෙන් හිටියේ 2012 අය වැයෙන් වැටුප් වැඩි කරනු ඇතැයි යනුවෙන් නමුත් එය එසේ සිදු වුණේ නෑනේද?

අනිවාර්යෙන්ම ආණ්ඩුව 2012 ට 2011 ඉදිරිපත් කළ අය වැයෙන් අඩුමගානේ රාජ්‍ය සේවකයාට දුන්න පොරොන්දු ඉෂ්ඨ කරයි කියලා. නමුත් එය සිදු කළේ නෑ. ආණ්ඩුවට පොරොන්දු දෙකක් දුන්නා. එකක් තමයි රුපියල් 2500 න් වැටුප් වැඩිකරනවා කියලා. අනෙක තමයි ජිවන අංක දිමනාව රාජ්‍ය අංශයේ සේවකයින්ට ගෙවනවා කියලා. නමුත් මේ දක්වා වැඩිවෙන ජීවන අංකය ලබා දිලා නෑ. අපට ගිය ජනවාරි මසයට ගත්තොත් රුපියල් 5000 ක ආසන්න හිග ජීවන අංක මුදලක් ලබා ගන්න තියෙනවා.

ඉන්ධන මිල ඉහළ දැමිම සම්බන්ධව ඔබ මොකද කියන්නේ ?

ආණ්ඩුව කරපු බරපතල වැරද්දක් තමයි ඉන්ධන මිල ඉහළ දමමින් ආර්ථික පීඩනයක් මේ අවස්ථාවේ ඇති කිරීම . ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල වැඩි කිරීම තමයි ඒ සිදු කරන ලද්දේ. ගෑස් මිල වැඩි කළා. ජල ගාස්තුව වැඩිකරන්න හා බේකරි නිෂ්පාදනවල මිල වැඩි කරන්න උත්සහා කරනවා. ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව තිබු උද්ඝෝෂණයකදී ධීවර කාර්මිකයෙකුට වෙඩි තියලා මරලා දැම්මා. හෙජින් ගනුදෙනුව, ක්‍රිකට් කවුන්සලයේ වංචා වහගන්න ඉන්ධන මිල වැඩි කළා.

උසස් පෙළ ප්‍රථිපල අවුල සම්බන්ධව යමක් පැවසුවොත්?

ඇත්තටම ඒක වැදගත් ප්‍රශ්නයක්. අඩුම ගානේ රජය උසස් පෙල ප්‍රථිපල ගැටළුව සම්බන්ධව ඇති කරන ලද ආරවුල විසදගන්නවත් සමත් වුණේ නෑ. අධ්‍යාපනය හරියාකාරව කරන්න බැරිනම් අනෙක් ඒවා සිදු කරන්නේ කේසේද? වෙන රටවල්වල මේ වගේ දේවල් සිදු වුණොත් ඇමතිවරුන් ඉල්ලා අස්වෙනවා.

අවසාන වශයෙන් දැනගන්න කැමති ඔබලාගේ ඉදිරි වෘත්තිය සමිති ක්‍රියාමාර්ග මොනවාද කියලා?

ඇත්තෙන්ම අපි මුලික වශයෙන් ආර්ථික පීඩනය වෙනස් කරන්න කියලා බල කරමින් ලබන 29 වැනිදා ලිප්ටන් වටරවුමේදී දැවන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කරන්න කටයුතු කරලා තියෙනවා. ඒවගේම හෙද නිලධාරින්ගේ ඉල්ලීම් වෙනුවෙන් ලබන 28 වැනිදා සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් දියත් කරනවා.

lankanewsmagazine.com

No comments:

Post a Comment