Wednesday, February 15, 2012

එක්ස්-රේ පටල හිඟයක් රෝගීහු දැඩි අපහසුතාවට

රට පුරා රෝහල්වල පවතින එක්ස්-රේ පටල හිඟය නිසා රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

රෝගීන්ගේ උදරය හා පපුව ප්‍රදේශයේ එක්ස්-රේ ගැනීමට නොහැකි වීම හේතුවෙන් නිවැරැදි ලෙස රෝග තීරණය කර ගත නොහැකි බවත් ඒ අනුව නිසි ප්‍රතිකාර ලබාදීමට නොහැකි වීම නිසා රෝගීන්ගේ ජීවිත අවදානමකට පත්ව ඇති බවත් සමස්ත ලංකා සුවසේවා සංගමයේ ප්‍රධාන ලේකම් හෙද නිලධාරි ගාමිණී කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේය.
රෝගීන්ගේ සිරුරෙහි එක්ස්-රේ ලබාගැනීම සඳහා එක්ස්-රේ පටල ප්‍රමාණයන් වර්ග හතරක් භාවිතයට ගැනේ. පපුව හා උදරය ප්‍රදේශයේ එක්ස්-රේ ලබාගැනීම සඳහා 48 හා 48x48 ප්‍රමාණයේ එක්ස්-රේ පටල භාවිතා කරන බව ද එම ප්‍රමාණයේ එක්ස්-රේ පටල හිඟය නිසා කුඩා ප්‍රමාණයේ එක්ස්-රේ පටල වන 24x18 ප්‍රමාණයේ එක්ස්-රේ පටල භාවිතා කරන බව ද ඒ මහතා පැවැසීය.

කුඩා ප්‍රමාණයේ එක්ස්-රේ පටල භාවිතා කිරීම මඟින් උදරය හා පපුව ප්‍රදේශයේ එක්ස්-රේ නිවැරැදි ලෙස ලබාගැනීමට නොහැකි යැයි ද හෙතෙම කීය.

ජාතික රෝහල ඇතුළු රට පුරා රෝහල්වල පවතින එක්ස්-රේ පටල හිඟය නිසා රෝගීහු දැඩි අපහසුතාවට පත්ව ඇති බවට රෝගීහු චෝදනා කරති. මීට අමතරව සැත්කම් අත්වැසුම් (Surgical gloves) හිඟයක් ද, වකුගඩු හා හදවත් රෝගීන්ට අවශ්‍ය ඖෂධ වර්ග ද, රෝගීන්ට අවශ්‍ය සිරින්ජර් හිඟයක් ද පවතින බව කුමාරසිංහ මහතා කීය.

Dinamina.lk 2012.02. 16

No comments:

Post a Comment