Thursday, February 2, 2012

අතවර සිද්ධියකට අනුරාධපුර රෝහලේ හෙද නිලධාරීහු දෙදෙනෙක්‌ දැලේ

අනුරාධපුර - පර්සි කුරුනේරු

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ආදේශක කනිෂ්ඨ සේවිකාවන් දෙදෙනකුට එම රෝහලේදී අතවර කළ බව කියන ප්‍රධාන හෙද නිලධාරියකු සහ තවත් හෙද නිලධාරියකු අනුරාධපුර පොලිසිය විසින් ඊයේ (2 වැනිදා) දහවල් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මීට දින හතරකට පමණ ඉහතදී රාත්‍රී සේවා මුරයේදී මෙම සේවිකාවන් දෙදෙනාට ඔවුන් විසින් අතවර කළ බවට චෝදනා කරමින් එම රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්‌ඩල ඊයේ
පෙරවරුවේ විරෝධතාවක නිරත වූ අතර අනතුරුව ඔවුහු අනුරාධපුර මූලස්‌ථාන පොලිසිය ඉදිරිපිටට ගොස්‌ එම සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන හෙද නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් උද්ඝෝෂණයකද නිරත වූහ.

අනතුරුව විරෝධතාකරුවන් හමුවීමට පැමිණි අනුරාධපුර සහකාර පොලිස්‌ අධිකාරි රාජා වික්‍රමනායක මහතා සැකකාර ප්‍රධාන හෙද නිලධාරියා (වෝඩ් මාස්‌ටර්) සහ අනෙක්‌ නිලධාරියා අත්අඩංගුවට ගත් බව දැනුම් දීමත් සමගම විරෝධතා කරුවෝ ප්‍රීතිඝෝෂා නගමින් විසිර ගියහ.

මේ අතර සැකකරුවන් වරදක්‌ කර ඇති බවට සනාථ වුවහොත් ඔවුනට එරෙහිව උපරිම දඬුවම් ලබාදීමට පොලිසිය පසුබට නොවන බවද සහකාර පොලිස්‌ අධිකාරි වරයා විරෝධතාකරුවන්ට ප්‍රකාශ කළේය.

මෙම විරෝධතාව සඳහා කනිෂ්ඨ කාර්යය මණ්‌ඩලයේ සේවක සේවිකාවන් 1000 ක්‌ පමණ සහභාගි වූ අතර හදිසි ප්‍රතිකාර සේවාවන්වල නිරත වූ සේවක සේවිකාවෝ ඊට එක්‌ නොවූහ.

මේ අතර අනුරාධපුර පොලිසියේ උසස්‌ නිලධාරියකු පැවසුවේ සැකකාර හෙද නිලධාරීන් දෙදෙනා ඊයේ (2 වැනිදා) අනුරාධපුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවයි.

Divaina 2012.02.03

No comments:

Post a Comment