Sunday, February 26, 2012

අපි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය උපුල් ගුණසේකර හමුවුනා..

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රටට අවශ්‍යද?

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රටට අවශ්‍යද යන්න පිළිබදව සාකච්ඡා කර තීරණයක් ගතයුතු කාරණයක්.මේ වටා ආයතන කීපයක් තිබෙනවා.වෛද්‍ය විද්‍යාලයක් සම්බන්ධව කතා කිරීමේදී ප්‍රධාන වශ‍‍යෙන් විශේෂඥ වෛද්‍යවරැන් වෛද්‍ය සභාව සෞඛ්‍ය අමාත්‍යංශය , උසස් අධ්‍යාපන අමාත්‍යංශය හා ඊට අමතර විශේෂඥ වෛද්‍යවරුන් අනුයුක්ත කර ඇති ආයතන 38 ක් තියෙනවා. එය සෑම දෙනෙක්ම එකතු වෙලා සලකා බලන්න ඕනේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රටට අවශ්‍යද යන්න පිළිබදව. මෙම විශ්ව විද්‍යාල පිහිටුවන්නේ කුමන තත්වයක් යටතේද? මෙම විශ්වවිද්‍යාල පිහිටවිය යුතුද? යන්න සොයා බැලිය යුතු වෙනවා. වෛද්‍ය විද්‍යාලයකට අවශ්‍යය අවම පහසුකම්, අවම සුදුසුකම් කුමක්ද? යන්න පිළිබදව අද වන විටත් පාර්ලිමේන්තුව හරහා සාකච්ඡා කරලා සම්මත කරගන්න අපොහොසත් වෙලා තියෙනවා. ඉතින් අදවන විට මේ සදහා අවසර ගතයුත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කියලා දන්නේ නැත්නම් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දන්නේ නැත්නම් මේ සදහා අවසර ගතයුත්තේ වෛද්‍ය සභාවෙන් කියලා උසස් අධ්‍යාපන ඇමතිවරයා මේ කිසිම දෙයක් දන්නේ නැතිව ගැසට් පත්‍ර නිකුත් කරනවා. මේ වන විට මෙහි පවතින්නනේ නීතිමය ගැටලුවක්. ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරන්න ඇදන් 300 ක රෝහලක් , අක්කර 25 ක සින්නක්කර ඉඩමක් තියෙන්න ඕනේ. ලංකාවේ වෛද්‍යවරුන් 20000 ක් පමණ සිටිනවා. 1000 කට එක් වෛද්‍යවරයෙක් ඉන්නවා. අවුරුද්දකට වෛද්‍යවරුන් 1000 ක් පමණ වෘත්තීයට එක් වෙනවා. මේ සෑම කරැණක් ගැනම සලකා බලා තීරණයක් ගන්න වෙනවා ලංකාවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍යද නැද්ද කියලා.

මෙරට ජාතික විශ්ව විද්‍යාල වලට ඇතුළත් වීමට නොහැකි සිසුන්ට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතුල් වී තම ඉදිරි අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීමට හැකිවනවා. මෙය හොද තත්ත්වයක් නොවෙයිද?

පළමුවෙනි කාරණය තමයි වෛද්‍ය විද්‍යාව හදාරණ කෙනෙකුට තියෙන අයිතිය මානුෂික අයිතිවාසිකමක්. ඒකට අභියෝග කරන්න කාටවත් පුලුවන්කමක් නෑ. අපි දකින දේ තමයි ලකුණු වැඩිපුරම ගන්නා ළමයි වෛද්‍ය විද්‍යාල වලට ඇතුළත් වන්නේ. ඊළගට ලකුණු ගන්නා ළමයි දන්ත වෛද්‍ය, පශු වෛද්‍ය, කෘෂි වෛද්‍ය පීඨයන්ට ඇතුළත් වෙනවා. මේ අයගේ වගකීමක් තියෙනවා රටේ ජනතාවට සේවය කරන්න. වෛද්‍යවරුන් ජනතාවගේ ජීවිත වලට වගකියන්න ඕනේ. අපි ජනතාවගෙන් අහන්න කැමතියි නිසි සුදුසුකම් නැති සුදුස ආචාර්යවරුන් හා පහසුකම් නැති මුදල් තිබූ පමණින් පමණක් වෛද්‍ය උපාධියක් ලබා ගන්න පුලුවන්ද? මේ වන විට ර‍ටේ වෛද්‍යපීඨ 08 ක් තියෙනවා. එයින් පීඨ 02 ක කටයුතු කර ගැනීමට නොහැකි තත්වයක් උද වී තිබෙනවා. රජරටට අවුරුදු 07 කින් මහාචාර්ය ඒකකයක් නෑ. නැගෙනහිර විශ්ව විද්‍යාලයට මහාචාර්යවරුන් හා මහාචාර්ය ඒකකයක් හදා ගන්න බැරි වෙලා තියෙනවා. ඔබතුමන්ලා කතා කරනවා එක ලකුණක් අඩුවුන දරුවන් ගැන. එතකොට අපි කවද්ද කථා කරන්නේ හිරියට ලකුණු ගත්ත දරුවන් ගැන. ඇත්තෙන්ම එක ලකුණක් අඩුවෙන් ගත්ත දරුවන්ද මේ ඉන්නේ? නෑ..එක ලකුණක් අඩුවුන දරුවන් වෙන පීඨයකට හෝ නැවත වාරයක් විභාගය ගැනීම සිදුකරනවා. මේ නිසා අවම සුදුසුකම් හා පහසුකම් පුද්ගලික විශ්ව විද්‍යාලයක් තුළ තිබිය යුතුයි.

වසරකට විශාල සිසුන් ප්‍රමාණයක් විදේශ විශ්ව විද්‍යාල සදහා ඇතුළත් වනු ලබනවා.මේ සදහා වැය වන මුදල් ර‍ට තුළ ආයෝජනය කර ගැනීමට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුළින් හැකියාවක් නොලැබෙන්නේද?

පළමුවෙනි දේ තමයි ඔය විශාල දේ ගැන තියෙන්නේ මිත්‍යාවක්. සියලුම පිටරට යන වෛද්‍ය සිසුන් වෛද්‍ය සභාවේ පරීක්ෂණයකට මුහුණ දිය යුතුයි. වසරකට සිසුන් 100 ක් පමණ ප්‍රමාණයක් තමයි වෛද්‍ය සභාවේ මෙම පරීක්ෂණයට මුහුණ දෙන්නේ. එත‍කොට ඔය කියන තරම් දහස් ගණන් කතන්දර වලංගු නෑ. පිටරට යන වෛද්‍ය සිසුන් සැපිරිය යුතු අවම සුදුසුකම් මොනවාද යන්න පිලිබදව මේවන විට වෛද්‍ය සභාව විසින් සාකච්ඡා කරමින් සිටිනවා.අනෙක් දේ තමයි විදේශ විනිමය. රජයේ ප්‍රතිපත්ති තමයි මතට තිත. එතකොට කොච්චර බ්ලැක් ලේබල්, බ්ලු ලේබල් ප්‍රමාණයක් රටේ තියෙනවාද? එතකොට අපි ඔය කොහෙන් හරි පෙරන අරක්කු වර්ගයක් විකුණන්න කියලා අපි කියන්නේ නෑ. රටේ මුදල් එකතු කරගන්න අර අරක්කු ගේන්නේ නැතුව ගමේ හංදියේ තිබෙන අරක්කු මොනවාහරි ලේබලයක් දාලා විකුණන්න කියලා අපි කියන්නේ නෑ. එම නිසා පිටරටට යන අය වළක්වා ගන්න ප්‍රමිතියක් නැති ආයතන රටේ පටන් ගැනීම සාධාරණ ක්‍රියාවක් නෙවෙයි. අපට හෙද නිලධාරීන්, ඹෟෂධවේදීන් අඩුයි. ළගදී සෞඛ්‍ය ඇමතිවරයාටත් දීලා තිබුනා වැරදි බේතක්. අනෙක් අය ගැන කවර කාථාවක්ද? වෛද්‍ය වෘත්තියට සියලු දෙනමෙ ආදරෙයි. ඒ දේ රැකගැනීම අපි කාගේත් යුතුකමක්.

ජාතික වෛද්‍ය විද්‍යාල වලින් ලබා ගන්නා උපාධියත්, පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් ලබා ගන්නා උපාධියත් අතර ගුණාත්මක භාවය පිළිබදව ගැටලුවක් පවතිනවාද?
අනිවාර්යෙන්ම රජයේ වෛද්‍ය විද්‍යාලයකට මහාචාර්යවරයෙකු ගැනීමේදී ඉහලම සුදුසුකම් තියෙන්න ඕනේ. නමුත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ආරක්ෂා කරන්න යන ආයතනය තුළ ඉන්නේ කවුද? හරියට විභාගයකවත් සමත් වෙලා නැති අය. එක්කෙනෙක් ඉන්නවා 07 වතාවක් ඇස්සැසිටින් විභාගය අසමත් වුන. මූලික වෛදවරයෙකුට තිබිය යුතු සදුසුකම නැති අයෙකුට තවත් වෛද්‍යවරයෙකු බිහිකරන්න පුලුවන්ද යන්න ප්‍රශ්නයක්. මේ නිසා රජයේ වෛද්‍ය උපාධියේ තිබෙන ගුණාත්මක භාවය පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් ලබා ගන්නා වෛද්‍ය උපාධියේ නැහැ.


විදේශ රටවලින් මුදල් ගෙවා ලබා ගන්නා උපාධිය මේ රට තුළ පිළිගන්නවානම් මේ රට තුළ මුදල් ගෙවා උපාධියක් ලබා ගැනීමේ ඇති වරද කුමක්ද?

උපාධිය පිළිගන්නේ නැති කාරණයක් මෙතන නෑ. ලංකාවට පුද්ගලික විශ්වවිද්‍යාල අවශ්‍ය නම් සාකච්ඡා කළ යුතුයි. නමුත් දැනි පිහිටුවා තිබෙන වෛද්‍ය විද්‍යාලය නීති විරෝධියි. එම ආයතනය රුසියාවේ තිබෙන ආයතයත් සමග පටන් ගත්ත ආයතනයක් කියලා පුවත්පත් දැන්වීම් වල දාලා තිබුණා. නමුත් දැන් කියනවා එහෙම සම්බන්ධයක් නෑ කියලා. ඒකෙන්ම පේනවා මේක වංචාවක් කියලා. මේ ආයතනය සම්බන්ධව වෛදය සභාවේ අනුමැතිය තියෙනවා කියලා දැන්වීම් දැම්මා. ඒක සම්පූරණයෙන්ම වැරදි කාරණයක්. මේ තුළ තියෙන්නේ ජනතාවගෙන් මුදල් ගරාගැනීමක්. මේක සක්විති ආකාරයෙන් නීතිවිරෝධී ලෙසින් පටන් ගෙන ඇති ආයතනයක්. මේ ආයතයේ සිසුන් හා විදේශ සිසුන් සන්සන්දනය කරන්න මං කැමති නෑ.

උසස් අධ්‍යාපන ඇමති එස්.බී දිසානායක මහතා පැවසුවා වෛද්‍යවරුන් වර්ජනය කළත් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කරන බව. ඒ ගැන ඔබ මොකද හිතන්නේ?

එතුමා පසුගිය දවසක කිව්වා වෛද්‍ය සභාව විසුරුවා හරිනවා කියලා.එතුමාට තේරුමක් නෑ වෛද්‍ය සභාව තියෙන්නේ උසස් අධ්‍යාපන ඇමතිවරයා යටතේ නෙවෙයි, සෞඛ්‍ය ඇමතිවරයා යටතේ කියලා. අඩු පඩියකට වුණත් අපි වැඩ කරන්නේ රට ගැන හිතලා.රජයේ ප්‍රතිපත්තිය තමයි මේ රට දකුණු ආසියාවේ කේන්ද්‍රස්ථානය බවට පත්කරන්න. එය එලෙසම සිදු කල යුතුයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා මේ වන විට විවිධ තර්ජන ගර්ජනවලට ලක්වෙමින් සිටිනවා, මේ ගැන ඔබ හිතන්නේ කුමක්ද?

ඔව්,මේ වන විට තර්ජනය කිරීම් හා මේ වන කොට එතුමාගේ ‍පෞද්ගලික ලිපි ගොනුව අතුරැදහන් වී තිබෙනවා . එතුමාට විරුද්ධව යම් කටයුත්තක් තියෙනවා නම් ඒක අමාත්‍යංශ මට්ටමෙන් පවත්වන්න ඕනේ. අපි සෞඛ්‍ය ඇමතිවරයාට කියනවා මේ පිළිබදව විධිමත් පරීක්ෂණයක් පවත්වන්න කියලා.මේ සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි විරෝධතාවයක් දක්වනවා.

බාල බෙහෙත් වර්ග ගෙන්වීම, හොර වෛද්‍යවරුන් හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු වලට විසදුම් ලෙස ඔබගේ යොජනා මොනවාද?
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙසට අප යෝජනා කරන්නේ මේ රටට ඖෂධ ප්‍රතිපත්තියක් තියෙන්න ඕන කියලා.අපි දිගින් දිගටම කියනවා ලංකාවට ඖෂධ පනතක් අවශ්‍යයි,ඒ වගේම ඖෂධ තොරතුරු මධ්‍යස්ථානයක් පිහිටවීම අවශ්‍යයි.මේ වන විට රටේ හොර වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. අ‍පේ ජනතාව සූදානම් නෑ වෛද්‍යවරයා ළගට ගිහින් වෛද්‍යවරයාගෙන් සුදුසුකම් අහන්න. ඒ හොද කමින් සද්භාවයෙන් තමයි හොර වෛද්‍යවරුන් ප්‍රයෝජන ගන්නේ.මේ නිසා නීති රකින ආයතන වල වගකීමක් තිබෙනවා මේ හොර වෛද්‍යවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න.

නිදහස් සෞඛ්‍ය සේවාවක් සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වශයෙන් ඔබලාගේ ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද?

නිදහස් සෞඛ්‍ය සේවාවක් තිබෙන ලෝකයේ හොදම රට අපේ රටයි. අදටත් වෛද්‍යවරුන් උත්සහ කරනවා පිටරට යන වෛද්‍යවරුන් නවත්වා ගන්න. ඒ තුළින් කොළඹ ජනතාවට මෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවට අවහ්‍ය පහසුකම් ලබා දීම අපේ බලාපොරොත්තුවයි.මේ සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වශයෙන් අපි ඉදිරියේදී වැඩකටයුතු කරනවා.

lankanewsmagazine.com

No comments:

Post a Comment