Wednesday, February 29, 2012

බන්ධනාගාරවල ඒඩ්ස්‌ පැතිරීමේ අවදානමක්‌ - වෛද්‍ය නිමල් එදිරිසිංහ

විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ

බන්ධනාගාර රැඳවියන් අතර සමලිංගික සේවනයේ ප්‍රවනතාවක්‌ දක්‌නට ඇතැයි ද මේ තත්ත්වය මත ඒඩ්ස්‌ ලිංගාශ්‍රිත රෝග පැතිර යැමට ඉඩ ඇතැයි ද ජාතික ඒඩ්ස්‌ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය නිමල් එදිරිසිංහ මහතා පැවසීය.

ලිංගාශ්‍රිත සෞඛ්‍ය පිළිබඳ කළුතර දිස්‌ත්‍රික්‌ උපදේශන වැඩසටහනට සහභාගි වූ වෛද්‍යවරුන් ලැගුම්හල් හිමියන් හා ස්‌වෙච්ඡා සංවිධානවල සාමාජිකයන් අමතමින් ඒ මහතා එසේ කීය. උතුරු කළුතර පැනරාමා හෝටලයේ පැවැති මෙම සම්මන්ත්‍රණයේදී තවදුරටත් කතා කළ අධ්‍යක්‍ෂවරයා මෙසේ ද කීවේය.

ඒඩ්ස්‌ රෝගය මර්දනය කිරීමෙන් රෝගය පැතිරයැම වැළැක්‌වීමට පුළුවන්. ඒඩ්ස්‌ එච්. අයි. වී. වෛරසය පිරිමින්ගෙන් පිරිමින්ට ද කාන්තාවන්ගෙන් කාන්තාවන්ට ද පැතිර යනවා. ඒඩ්ස්‌ රෝගය වැළඳුණු ගර්භණී මවක්‌ නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නේ නම් නිරෝගී දරුවකු බිහිකිරීමට හැකියාව ලැබෙනවා.

මේ වන විට ඒඩ්ස්‌ රෝග කාරක වැළඳුණු රෝගීන් තුන්දහසක්‌ ශ්‍රී ලංකාවෙන් සොයා බලා තිබෙනවා. 2011 දී රෝගීන් එක්‌දහස්‌ හාරසිය හැටතුන් දෙනකු සොයාගෙන තිබෙනවා. ඒඩ්ස්‌ රෝගීන් 253 දෙනකු මියගිය අතර දරුවන් පනස්‌ දෙදෙනකු මේ රෝගීන් අතර සිටිනවා. දිනපතාම මේ රෝගීන් අපි සොයා ගන්නවා. අවුරුදු 15 ත් 49 ත් අතර වයසේ පසුවන අයට ඒඩ්ස්‌ රෝගය වැළඳී තිබෙනවා. මේ අය අතරත් සියයට පනස්‌අටක්‌ පිරිමින් සියයට හතළිස්‌ දෙකක්‌ කාන්තාවන්. ඒඩ්ස්‌ රෝගීන්ගේ වර්ධනයක්‌ බස්‌නාහිර පළාතෙන් වාර්තා වුණා. ඒ ගණන සියයට හැටඑකක්‌. පුද්ගලික ලේ බැංකු ආරම්භ කළා නම් ඒඩ්ස්‌ රෝගීන්ගේ සංඛ්‍යාව මෙයට වඩා වැඩි වෙනවා. ඒ ඉවක්‌ බවක්‌ නොබලා මිනිසුන් ලේ දෙන්න යන නිසා. රජයේ ලේ බැංකුව ලේ ගන්නේ ඉතාමත් පරීක්‍ෂාකාරීව සොයා බලලයි. ලේ දන්දෙන අයකුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි. ශ්‍රී ලංකාවේ ගණිකාවන් හතළිස්‌දහසක්‌ පමණ සිටිනවා. ලැගුම්හල්වල දුරකථන මගින් සම්බන්ධකම් පවත්වන ගණිකාවන් ද එකතු කළ විට එම පිරිස හැටදහසක්‌ පමණ වෙනවා. පාසල්වල ඉහළ ශ්‍රේණිවල ළමයින්ට ඒඩ්ස්‌ රෝගය පිළිබඳව දැනුමක්‌ ලබාදෙන්න ඕනෑ. අධ්‍යාපන අමාත්‍යාංශයේ සිටින හනමිටි නිලධාරීන් නිසා මේ දැනුම ලබාදෙන්න බැහැ.

සබරගමුව මහ ඇමැතිවරයා සම්බන්ධ කරගෙන පළාත් සභා පාසල්වල ගුරුවරුන් එක්‌දහස්‌ හයසීයකට ඒඩ්ස්‌ රෝගය පිළිබඳව දැනුමක්‌ ලබාදුන්නා. ඔවුන් පාසල් පන්සියයක දරුවන්ට ඒඩ්ස්‌ රෝගය පිළිබඳ දැනුමක්‌ ලබා දී තිබෙනවා.

ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හිමාලි පෙරේරා, සර්වෝදය ආයතනයේ විමලා රණතුංග, කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය උදයරත්න, මාධ්‍යවේදී සැම්සන් ප්‍රේමසිරි යන මහත්ම මහත්මීහු ද මෙහිදී කතා කළහ.

කළුතර ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයේ අංශ භාර වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඒ. බී. ඉලංගරත්න මහතා මෙම වැඩමුළුව සංවිධානය කර තිබිණි.

Divaina 2012.02.29

No comments:

Post a Comment