Sunday, February 26, 2012

ආයුර්වේදය වළ පල්ලට යවන ප්‍රමිතියෙන් තොර ඖෂධ

ආයුර්වේද වෛද්‍යක්‍රමය ලොව පැරැණිතම වෛද්‍ය ක්‍රමයන්ගෙන් එකක් වන අතර “ජීවක” නම් රාජ්‍ය වෛද්‍යවරයෙකු බුදුන්ට බෙහෙත් කළ බව සඳහන් වීමෙන් එය බුද්ධ කාලය දක්වා එහා ඉතිහාසයක් ඇති බව පිළිගත යුතුය. දැනට වසර 30,000කට පෙර ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය ගොඩ නැඟූ බලංගොඩ මානවයාද තම ලෙඩ රෝග සුවකර ගැනීම සඳහා ඖෂධීය ශාක භාවිතා කළ බව සඳහන් වීමෙන් ශ්‍රී ලංකාවේ ආයුර්වේදය ඒ දක්වා ඉතිහාසයට ගමන් කළ යුතුව ඇත. කොතරම් පැරැණි වුවද මෙම වෛද්‍යක්‍රමය දිගු කාලයක් ආරක්ෂා වූයේ රෝග සුවකර ගැනීම සඳහා එම වෛද්‍ය ක්‍රමය කෙරෙහි ජනතාව තුළ තිබූ විශ්වාසය දැඩි ලෙස ආරක්ෂා වූ බැවිනි.
ආයුර්වේදයට අවශ්‍ය බෙහෙත් නිෂ්පාදනය සඳහා අදාල බෙහෙත් වට්ටෝරු සහිත පුස්කොල පොත් විශාල වශයෙන් රට තුළ සුලභවීමත් බෙහෙත් නිපදවීමට හැකියාවක් ඇති ඉතා ඉහළ වෙදපරම්පරාවලින් පැවත එන වෛද්‍යවරු අතින් ඖෂධ නිපදවීමේ කාර්යය මනාව කළ අතර බෙහෙත් නිපදවීමට අවශ්‍ය ඖෂධීය ශාක ශ්‍රී ලංකාවේ සුලභව තිබීම ඉතා ඉහළ තත්ත්වයේ බෙහෙත් ඖෂධ නිපදවීමට මහත්සේ උපකාරී විය. මෙම වෛද්‍ය ක්‍රමය දීර්ඝ කාලීනව ආරක්ෂාකර පවත්වා ගෙන යාමේදී මෙරට වෛද්‍යවරුන්ගෙන් වූ මෙහෙය ඉතා ප්‍රශංසනීය වූ අතර බෙහෙත් නිපදවීමේ කාර්යය භාරව සිටි වෛද්‍යවරයා බෙහෙත්වල තිබිය යුතු ඖෂධීය ප්‍රමිතියට කිසිදු හානියක් නොවන සේ බෙහෙත් නිෂ්පාදනය කිරීම නිසාම මෙම වෛද්‍ය ක්‍රමය ජනතාව තුළ රෝග නිවාරණයට ඉතා විශ්වාස වන්තව භාවිතා කෙරිණ.
ග්‍රාමීය මට්ටමින් අවුරුදු දහස් ගණනක් තිස්සේ සාර්ථකව නිෂ්පාදනය කරන ඖෂධ ඉතා ඉහළ ප්‍රමිතියකින් යුතුව තිබූ අතර පසු කාලයේදී ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට ජනතාව තුළ තිබූ විශ්වාසය ක්‍රමයෙන් වැඩිවත්ම බෙහෙත් නිපදවීම පුළුල් කිරීමට සිදු වූයෙන් බෙහෙත් නිපදවීමේ කර්මාන්තශාලා බිහිවීම ආරම්භවීමත් සමගම ඖෂධ නිපදවීමේ කාර්යය වාණිජත්වයට හසුවන්නට වීම ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්න ඇතිවීමට හේතුවිය. බෙහෙත් ඖෂධ සඳහා ඇතිවූ පුළුල් ඉල්ලුම සැලකිල්ලට ගත් රජය ඉතා උසස් ප්‍රමිතියකින් යුතුව ඖෂධ නිපදවීමේ කාර්යය සාර්ථකව පවත්වාගෙන යාම සඳහා 1969 ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්්ථාව නිර්මාණය කරන ලදී.
එමගින් ජනතාවට අවශ්‍ය බෙහෙත් ඉතා ඉහළ ප්‍රමිතියකින් යුතුව නිෂ්පාදනය කළ අතර බෙහෙත් නිපදවීමේ ප්‍රමුඛයා ලෙස සංස්ථාව පත්වන ලදී. ආයුර්වේද ඖෂධ සංස්ථාව ලාභය පසෙක තබා ජනතාවට උපරිම අන්දමේ සේවයක් ලබා දෙමින් බෙහෙත් වර්ග 160කටත් වඩා ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්නේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ගරුත්වය ආරක්ෂා කරමින් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකරලීමේ තම පරමාර්ථය ආරක්ෂා කරමිනි. මෙයට සමගාමීව ආයුර්වේද ඖෂධ නිපදවන කර්මාන්තශාලා බිහිවුවද එමඟින් නිෂ්පාදනය වන ඖෂධවල ප්‍රමිතිය ඉතා පහත් තත්ත්වයක පවතින බව ආයුර්වේද ඖෂධ කෙරෙහි විශ්වාසයක් දක්වන ජනතාවගේ මතය වී තිබේ.
ලාභය තම පරමාර්ථය ලෙස මුල්කරගත් නිෂ්පාදන ආයතන විශාල වියදමක් දරා බෙහෙත් නිපදවනවාට වඩා ලාභය උපරිම වන පරිදි පැරැණි වට්ටෝරුවල සඳහන් අමුද්‍රව්‍ය භාවිතා නොකරමින් බෙහෙත් නිපදවීම මේ වන විට සිදුවන අතර මෙම ප්‍රවණතාවය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ගරුත්වයට ඉතා හානිදායක වී ඇත. නියමිත ප්‍රමිතිය නොමැතිව නිපදවන ඖෂධවලින් රෝග සුවවීමක් නොවන අතර එමඟින් අතුරු ආබාධ ඇතිවීමත් ජනතාව තුළ මෙම වෛද්‍ය ක්‍රමයට තිබූ විශ්වාසයද ක්‍රමයෙන් ඉවත්වීමට එය හේතුවක් වන්නට පුළුවන. මේ හැර ඇතැම් බෙහෙත් නිපදවන සමාගම් මෙතෙක් කල් තම ගරුත්වය ආරක්ෂාකර ගනිමින් ආයුර්වේදයට මහගු සේවයක් ඉටුකළ වෛද්‍යවරයාද නොමඟට යොමු කරමින් වෛද්‍යවරුන් හා බෙහෙත් මිලදී ගන්නන් සඳහා ඉතා ආකර්ෂණිය කොමිස් මුදල් ගෙවීමට පුරුදු කරලීම මුළු ජාතියේම අවාසනාවක් වී ඇත.
මහා පරිමාණ වශයෙන් ඖෂධ නිපදවන ඇතැම් සමාගම් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ගරුත්වය කෙලෙසමින් අලෙවිය සඳහා ගෙවන විශාල කොමිස් මුදල් දෙස බලනවිටත් බෙහෙත් ඖෂධ සඳහා මිල කර ඇති ආකාරයත් බලන විට මෙතරම් අඩු මුදලකට බෙහෙත් සැපයීමට හැකි වූයේ කිසිදු ප්‍රමිතියකින් තොරව ඒවා නිෂ්පාදනය කරන නිසාම බැව් පැහැදිලිවේ. අඩු මුදලකට බෙහෙත් ඖෂධ සපයමින් ඖෂධ විකිණීම වාණිජත්වයට යට කර තම වෙළෙඳ ව්‍යාපාර සාර්ථකව පවත්වාගෙන යාම සඳහා කොමිස් මුදල් ගෙවීමට ඖෂධ නිෂ්පාදකයින් පුරුදුවීම මෙම ගෞරවණීය වෘත්තියේ ගරුත්වයට හානි පමුණුවන්නක් වුවද ප්‍රමිතියෙන් තොර මෙම බෙහෙත් නිපදවන සමාගම් පාලනය කිරීමේ හැකියාවක් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ආරක්ෂා කිරීමට කටයුතු කරන බලධාරීන්ට මේ දක්වා නොහැකිවීම ජාතික අපරාධයක් වී ඇත.
මුළු රට පුරා නිෂ්පාදනය කරන බෙහෙත් ඖෂධ නිසි ප්‍රමිතියකට නිෂ්පාදනය කළ යුතු අතර නිෂ්පාදිත ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂාකර බලා ඒවා රෝගීන් සඳහා නිකුත් කිරීමට සුදුසුද යන්න තීරණයක් ගැනීමට සුදුසු ස්වාධීන ආයතනයක් හෝ රාජ්‍ය ආයතනයක අවශ්‍යතාව මේ වන විට තදින් දැනෙන්නට වී ඇත. ඉතා ඉහළ ප්‍රමිතියකින් යුතුව බෙහෙත් නිපදවන ආයතන කිහිපයක් ශ්‍රී ලංකාවේ දැනට ඇති අතර, පෞද්ගලික මට්ටමේ වෛද්‍යවරුන් විසින් සිය නිවෙස් තුළ නිපදවන බෙහෙත් ඉතා ඉහළ ප්‍රමිතියකින් කෙරෙන අතර, එය ප්‍රසංසාවට ලක් කළ යුතුය. දේ්ශීය ආයුර්වේදය අසරණ තත්ත්වයට පත්කරන ඇතැම් පාරම්පරික දේශීය ආයතන ඉතා පහළ මිලකට බෙහෙත් අලෙවිකර විශාල කොමිස් මුදල් ගෙවන්නේ කෙසේද යන්න ආයුර්වේදයට ඇල්මක් ඇති අය සහ පාලකයන් විසින් සොයා බැලිය යුතුය.
විශාල කොමිස් මුදල් ගෙවමින් අඩු මුදලකට ඖෂධ සපයන ආයතන ලාභයකුත් තබාගෙන ප්‍රමිතිය පවත්වාගෙන යන්නේ කෙසේද යන්න ප්‍රශ්නයක් වනු ඇත. ප්‍රමිතිය ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වා ඉතා පහත් තත්ත්වයේ ඖෂධ නිපදවමින් ආයුර්වේදයට සම්බන්ධ ඇතැම් නිලධාරීන් තම කොමිස් මුදල්වලින් සන්තෝෂයට පත්කරමින් ගෙන යන වැඩ පිළිවෙළ ජාතික අපරාධයක් ලෙස හැදින්විය යුතුය. මෙම ප්‍රමිතියෙන් තොර ඖෂධ පිළිබඳ වර්තමාන දේ්ශීය වෛද්‍ය ඇමැති සාලින්ද දිසානායක මහතාගේ දැඩි අවධානයට යොමුවී ඇති අතර ඔහු මේ පිළිබඳ දැඩි ක්‍රියා මාර්ගයක් ගැනීමේ අවශ්‍යතාව අවබෝධකර ගෙන සිටීම පමණක් නොව අනාගතයේ දී මේ පිළිබඳ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම තුළින් මෙම වාණිජත්වයට බර ප්‍රමිතියෙන් තොර බාල වර්ගයේ බෙහෙත් නිපදවන අයගෙන් ජනතාව බේරා ගැනීමට පසුබට නොවනු ඇත. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ගරුත්වයට හානි පමුණුවන ප්‍රමිතියෙන් තොර ඖෂධ නිපදවා වෙළඳපොළට සපයන දූෂිත වෙළෙඳ සමාගම් වෙනුවට ප්‍රමිතියෙන් යුතු ඖෂධ නිපදවන සමාගම් බිහිකරලීම සඳහා ජනතා සහයෝගය ආයුර්වේදයේ බලධාරීන්ට ජනතාව ලබාදිය යුතුය.

නලීන් මර්වින් ප්‍රනාන්දු

Dinamina 2012.02.25

No comments:

Post a Comment