මාලිගාවත්ත ජාතික වකුගඩු රෝහල දිවයින පුරා විසිරී සිටින දහස් සංඛ්යාත වකුගඩු රෝගීන්ට මහත් සෙතකි. මන්ද රෝගීනට කරුණාවෙන් සේවය කරන හිපෝක්රටීස්ගේ දූ පුතුන් බඳු වෛද්‍ය මණ්ඩලයකින් ද බොහෝවිට විවේක කාලය පවා කැපකරමින් සේවය කරන හෙද හා කනිෂ්ඨ කාර්ය මණ්ඩලයකින්ද මෙම රෝහල සමන්විත වන නිසාය. වාට්ටුව පිරිසිදුය. ඒ තතු එසේ වුව පවත්නා අඩුපාඩුකම් කීපයක් සඳහන් කරන්නේ ලද අත්දැකීම් ඇසුරෙනි.
වාට්ටුවේ නේවාසික කාන්තා හා පිරිමි රෝගීන් සඳහා තිබෙන්නේ එකම කාමරයක පිහිටි වැසිකිළි තුනකි. කැසිකිළියකි. එක නාන කාමරයකි. මේ පිහිටීම නිසා දෙපක්ෂයේ රෝගීන් දවසේ පැය 24 පුරා මුහුණ දෙන්නේ මහත් අසීරුතාවකට. රෝගීන්ගේ ඇඳුම් වතුර බෝතල් ආදී කොට ඇති අඩුමකුඩුම ටික තබාගැනීමට "ලොකර්" වැනි යමක් නැති නිසා ඒවා තබාගත යුත්තේ රෝගියාගේ ඇඳ අසල බිමය.
රෝගීන්ට නියම කරන ඖෂධ වර්ග අතුරෙන් ඇතැම් ඖෂධ වර්ග මිලදී ගත යුත්තේ පිටිනි.
වාට්ටුවට අදාළ රසායනාගාරයේ දැනට කෙරෙන්නේ රුධිරය හා මුත්රාවලට අදාළ පරීක්ෂණ කීපයක් පමණි. රුපියල් සිය දහස් ගණනින් වැයවන බොහෝ පරීක්ෂණ පිටතින් කරවා ගත යුතුය.
වකුගඩු රෝගියා යනු කරමින් සිටින රැකියාව අහිමි කරවන ලැබෙන අනෙකුත් ආදායම් මාර්ග ක්රමයෙන් හීන කරන පවුල් පිටින් අසරණ භාවයට හරවන දින රහිත අකල් මරණ සහතිකය ලියවා ගත් අනාථයෙකි. වකුගඩුවක් බද්ධ කළත් නැතත් මිහිපිට සිටිනතාක් කල් වෙදකමක් හෙදකමක් නොකඩවා ලබාගන්නා අහිංසකයෙකි. කොටින්ම කියතොත් ඒ වෙදකමත් හෙදකමත් "නන්ස්ටොප්" ය. ඉතින් මෙබඳු වකුගඩු රෝගියාට රජයේ පිහිට හැර අන් කාගේ පිහිටක්ද?
ගුණපාල මල්වත්ත ඇල්පිටිය
Divaina 2012.02.19
No comments:
Post a Comment