දොස්‌තර ලූෂන් ද සිල්වා
සිංහයකු සේ පේරාදෙණිය සරසවියේ පාලනය ගෙනගිය දොස්‌තර නිකුලස් ආටිගල ශ්‍රීමතාණන් ඇතුළු බටහිර වෙද පරපුරක ගුරුවරයා වූයේ ඔහුය. සිය ළමා වියෙහි අධ්‍යාපනය ලබන සමයේ ඊ. ඩබ්ලිව්. ජයවර්ධන (ඡේ. ආර්. ජයවර්ධන මහතාගේ පියාණන්) සහ ඩී. එස්. සේනානායක සමකාලීන මිතුරන්ය. ලංකා ගුවන් විදුලි සේවයේ ප්‍රථම ඉංග්‍රීසි නිවේදිකාව වූ පර්ල් ඔන්ඩච්චිගේ පියාණන්ය. 20 වැනි සියවස මුල් භාගයේදී ඉංග්‍රීසියෙන් ග්‍රන්ථකරණයේ යෙදුණු ප්‍රකට ලේඛකයෙකි. චතුර දේශකයෙකි. කොළඹ හත කුරුඳුවත්තේ රෝස්‌මීඩ් පෙදෙසේ තැනූ මහමන්දිරය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක අගමැතිගේ පියාණන්ට විකුණා දමා සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙතක් සොයා කන්ද උඩරට පේරාදෙණියට ආසන්න ගොහාගොඩ මහවැලි නදීබඩ නිවසක් ඉදිකොටගෙන සිය බිරිඳ සමඟ එහි වාසයට පැමිණියේය.
මොහු ලංකාවේ නූතන ඉතිහාසයේ ඉතා ප්‍රකට නාරිවේද මෙන්ම කායික විශේෂඥ වෛද්‍යවරයකු වූ දොස්‌තර ලූෂන් ද සිල්වායි. වයස අවුරුදු 86 ගෙවීයනවාත් සමඟ එක්‌තරා උදැසනක ගිලන්වන ඔහු මහනුවර මහ රෝහලේදී ලද සිය අත්දැකීම් විස්‌තර කොට ඇත්තේ මෙලෙසය.
වයස අවුරුදු 86 ක්‌ම මා ගෙවූයේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකි. 86 වැනි ජන්ම දිනයට පසු එක්‌තරා දවසක සන්ධ්‍යාවෙහි පැවැති තද ග්‍රීෂ්මයෙන් මිදෙන්නට වතුර මලෙන් ඇද හැළෙන සීතල වතුර නා ගත්තෙමි. පසුදා අවදිවන විට සිරුරේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක සියයකි. හුස්‌ම ගන්නා විට පපුවෙන් තද ශබ්දයක්‌ද නිකුත්වේ. මුත්‍ර පිට කිරීමේ අපහසුතාවක්‌ද දැනේ. මෙහෙකරු ගෙනවිත් දුන් උදැසන කෝපි කෝප්පය බීමෙන් පසු තත්ත්වය වඩාත් නරක අතට හැරුණේ මුත්‍රාශය තුළට රැස්‌වන දියර ප්‍රමාණය එමගින් තවත් ඉහළ ගිය බැවින් උදරයේ වේදනාවක්‌ද ඇති කරවමිනි. උදේ දහය වනවිට මුත්‍රාශය තුළට කැතීටරයක් යෑවීමෙන් රැස්‌වූ මුත්‍රා ඉවත් කරලීම සඳහා මම උත්සාහ ගත්තෙමි. එහෙත් මුත්‍රා මාර්ගයෙහි දැනුණු තද ගතියක් නිසා කැතීටරය ඇතුළු කිරීම අපහසු වූ බැවින්ද සුළු රුධිර වහනයක් ඇති වූ නිසාවෙන්ද එම උත්සාහය අත්හරින්නට සිදුවිය. මහනුවර මහ රෝහලේ මුත්‍රා රෝග විශේෂඥයා ලෙස ප්‍රකට වූ වෛද්‍යවරයාට දුරකථනයෙන් ඇමතීමි. ඒ පෙරවරු 11.00 ටත් පෙරය. එහෙත් සවස 2.00 සිට 5.00 පමණ දක්‌වා ශල්‍යකර්මවල යෙදෙන්නට ඇති බැවින් මා බැලීමට පැමිණිය නොහැකි බව ඔහු කීවේය. ඔහුගේ සහ මගේ නිවෙස් අතර දුර ප්‍රමාණය සැතපුම් 6 1/2 ක් වූ අතර එය විනාඩි 20 ක මොටෝරිය ගමනකි. සවස් භාගයේ මා බැලීමට ඒම සඳහා මගේ මොටෝරිය බංගලාවට එවන්නැයි ද ඔහු කීවේය. මොටෝරියද රැගෙන සවස 3.30 වනවිටම පිටත් වූ මාගේ රියෑදුරා ඔහු එනතුරු ඔහුගේ නිවස අසල රැක සිටියේය. ඔරලෝසුවේ 5 කණිසමද නාද විය. 6 ද 7 ද නාද විය. එහෙත් වෛද්‍යවරයා නම් තවමත් පැමිණියේ නැත. දැන් මට නිදිමත ගතියක් දැනේ. වේදනාව මඳක් සමහන් වී ඇත. වෛද්‍යවරයකු සේ සුදුසුකම් ලබා 60 වසරක අත්දැකීම් ඇති මට සිදුවන්නේ කුමක්‌දැයි දැන් දැන් ප්‍රත්‍යක්‍ෂ වේ. මගේ සිරුර තුළ මුත්‍රා විෂ වෙමින් පවතී. මුත්‍රා පහ නොවී එක්‌රැස් වූ විටෙක මුත්‍රාශගත පීඩනය රුධිර වාහිනිය තුළ රුධිර පීඩනයට වඩා ඉහළ යන බැවින් මුත්‍රා රුධිරයට එක්‌වන අතර එය විෂවීමෙන් පැය කිහිපයක් තුළ සිහිමුර්ජාවකට, වලිප්පුවකට හෝ අවසන මරණයටද හේතු වන බව දනිමි.
රාත්‍රි 8.00 පමණ මා අවදි කළ මගේ මෙහෙකරු නැවතත් වෛද්‍යවරයාට දුරකථනයෙන් අමතා මා බැලීමට පැමිණීම පිළිබඳව සිහිපත් කළ යුතුව ඇතැයි පවසයි. දුරකථන රිසිවරය තුළින් එහා කෙළවර පසුබිමෙන් මට ඇසෙන්නේ "චෙරියෝ ඩොක්‌ටර් හෙට නැවතත් හමුවෙමු". ආදි වචනය. ඒ සමඟම "මා මේ දැන් ගමන් ආරම්භ කරනවා" යෑයි වෛද්‍යවරයා මට පිළිතුරු දුන් අතර මගේ ඔරලෝසුවේ 9.00 කණිසම නාද වෙනවාත් සමඟම වෛද්‍යවරයා එළිපත්තෙන් ගෙට ඇතුළු වේ.
මා පරීක්‍ෂා කිරීමෙන් පසු ඔහුගේ නිගමනය වූයේ මගේ පුරස්‌ථ ග්‍රන්ථි (Prostrate Gland) විශාල වීමකට බඳුන් වී ඇති බවකි. ඒ ගැන සුදුසු සේ පසුවට කටයුතු කරන බව වෛද්‍යවරයාට කී මම එවෙලෙහි මට අවශ්‍ය වූයේ නිර්වින්දන වෛද්‍යවරයකුගේද සහාය ලබාගෙන කුඩා කැපුමක් යොදා මුත්‍රා ඉවත් කිරීමට පහසුවන සේ කැතීටරයක් සවිකර ගැනීම බවද කීවෙමි. මා එවේලේම රෝහල්ගත වන බවට දුරකථන පණිවිඩයක් කොළඹ සිටින මාගේ දියණියට දෙන ලෙසද මෙහෙකරුට දැන්වීමි.
වෛද්‍යවරයාද කැටිව රාත්‍රියේම අපි මහනුවර රෝහල බලා පිටත්වීමු. පේරාදෙණිය පාරේ සීබල් මාවතට ළඟාවනවාත් සමඟ වෛද්‍යවරයා මොටෝරිය නැවැත්වීමට උපදෙස් දුන්නේ නිවසේ ඇති යමක් රැගෙන විනාඩියක් තුළ ආපසු එන බව පවසමිනි. විනාඩි 15 ක්‌ම ගත වුවද වෛද්‍යවරයා පැමිණියේ නැත. ඔහු රාත්‍රි ආහාරය ගන්නවා ඇතැයි මගේ රියෑදුරා උපකල්පනය කළේය.
රාත්‍රි 10.00 ට පමණ ශල්‍යකර්ම මේසය මත මා දිගා කොට අතපය සෙලවිය නොහැකි වන සේ බඳිනු ලැබිණ. මගේ කුස තුළ තුර්යවාදක කණ්‌ඩායමක් වාදනය කරනු ඇසෙන්නා සේය. මුත්‍රා විෂවීම නිසා අවසිහියට වැටී සිටින මට සුදු පැහැති බල්ලෙකු මගේ පපුව මතට නැඟගන්නට වෑයම් කරන බවක් දැනේ. බල්ලා එලවා දැමීමට මට මගේ දැත් සෙළවිය නොහැක. පපුව මත උඩපනින බල්ලා එලවා දමන්නැයි මම කෑගැසුවෙමි. කොහේ ඇති බල්ලෙකුදැයි දොස්‌තර මගෙන් අසනු මතකය. "පේන්නෙ නැද්ද මගේ පපුව උඩ දඟලන බල්ලා "මෙහේ ඇති බල්ලෙක් නැතැයි දොස්‌තර පිළිතුරු දුන්නේය.
දැන් වේලාව රාත්‍රි 10.30 ට පමණ වුවද නිර්වින්දන වෛද්‍යවරයා තවමත් පැමිණ නැත. පෙරහැර රාත්‍රියක් වූ ඒ රැයේ මහනුවර නගරයේ වීදි මහජනයාගෙන් පිරී ඇති බැවින් නිර්වින්දන වෛද්‍යවරයාට සිය මෝටර් රිය "ලාසරස්" සිනමා ශාලාවෙන් (පසුව ඕඩියන් -(Odeon) මහපාරට දමාගත නොහැකි බව කියවෙන පණිවුඩයක් සඳහන් වූ සටහනක් හෙදිය ශල්‍යාගාරය තුළට ගෙන ආවාය. කෙසේ හෝ මධ්‍යම රාත්‍රියට මඳකට පෙර නිර්වින්දන වෛද්‍යවරයාගේ ආගමනය සිදුවිය. ඔහු මගේ ළය පරීක්‍ෂා කිරීමෙන් පසු ශල්‍ය වෛද්‍යවරයා උදරය හා සම්බන්ධ ශල්‍යකර්මයකට සූදානම් වන බවක් පෙනීගිය බැවින් පුරස්‌ථ ග්‍රන්ථි ශල්‍යකර්මයකට අනුමැතිය දිය නොහැකි බව මම වහා කීවෙමි. දැනට මට අවශ්‍ය වන්නේ කැතීටරයක් සවිකොට ගෙන මූත්‍රා මුදා හැරීමට පමණක් බවද තවදුරටත් ඔහුට දැන්වීමි. පෙනහලු සෙම වලින් පිරී තිබීම හේතුවෙන් මා පූර්ණ නිර්වින්දනයට පත්කිරීම මාරාන්තික විය හැකි බව නිර්වින්දන වෛද්‍ය වන්නිසිංහම්ගේ ද මතය විය. වන්නිසිංහම් මගේ ජීවිතය ගලවා දුන් අතර මට එවේලෙහි අවශ්‍යව තිබූ දේ පමණක් ඉටුකිරීමෙන් සෑහීමකට පත්වන්නට ශල්‍ය වෛද්‍යවරයාට සිදුවිය. ගෙවන වාට්‌ටුවෙහි එකදු හිස් ඇඳක් හෝ නොතිබි බැවින් එදින මට යාචක වාට්‌ටුවෙහි රැය පහන් කිරීමට සිදුවන බවද දන්වා සිටී.
ඔහු සිය ශල්‍ය ආම්පන්න කට්‌ටලයද මල්ලක දමා ගෙන යන්නට ගියේය. ඔහු මා කැටුවම වාට්‌ටුව වෙත ගොස් හෙදි සොයුරියට මා හඳුන්වා දී නිසි පරිදි වාට්‌ටුවට ඇතුළත් කරනු ඇතැයි මා සිතුවද එය එසේ සිදු නොවීය. නිර්වින්දන වෛද්‍යවරයාගේ සුපුරුදු ප්‍රශ්න අතර ආසන්න පැය කිහිපය තුළ මා ආහාර පාන කිසිවක් ගත්තේදැයි විමසූ ප්‍රශ්නයට මගේ පිළිතුර වූයේ පෙරේදා රාත්‍රි ආහාරයෙන් පසු උදැසන කෝපි කෝප්පය හැරෙන්නට කිසිදු ආහාරයක් පානයක් දෙතොල් හරහා උදරයට ඇතුළු නොවූ බවයි. රෝහල් සාත්තු සේවකයන් හා හෙදිය විසින් රෝද ඇඳක තබා මා වාට්‌ටුව වෙත ගෙන යනු ලැබිමි. එහිදී සාත්තු සේවකයෝ මා ඔසවා ඇඳක් මත තැබූහ. මා ඇඳ සිටියේ කැතීටරය රඳවා තබා ගැනීමට ගත් උත්සාහයේදී තැවරුන ලේ පැල්ලම් සහිත පිජාමා කලිසමයි. ලෙයින් පෙඟුණු කලිසම ඉවත් කළ හෙදිය දන්වා සිටියේ ඒ වෙනුවට ඇඳීමට දියහැකි කිසිවක් නොමැති බවයි. ඉනෙන් පහළ සිරුර සම්පූර්ණයෙන්ම නග්ගව ඇති අතර තුනී සුදු රෙද්දක් පමණක් පොරවා ගැනීමට මට සිදුවිය. මගේ ඇඳ කොරිඩෝවට හා අගුවට මුහුණලා තබා තිබිණි. ඉන් එහාට වූයේ විවෘත උද්‍යානයයි. වැස්‌සක්‌ද ඇදහැලෙමින් පැවති අතර විවෘත කොරිඩෝව දෙසින් සිරිකඩ මා වැතිර සිටින ඇඳ දෙසට ගසාගෙන එයි. තුනී පොරෝනයෙන් හා පිජාමාවේ උඩකොටසින් පමණක් කය වසාගෙන සිටි මා වෙව්ලන්නට විය. හෙදියට කතා කළ මා බ්ලැන්කෙට්‌ටුවක් හෝ ඝනකම් පොරෝනයක් ඉල්ලා සිටියෙමි. ඒවා අල්මාරියක තැන්පත් කර ඉබියතුරු දමා ඇති බැවින් බ්ලැන්කේට්‌ටුවක් දියහැක්‌කේ හෙට උදැසනින් පසුව බව හෙදිය මට කීවාය. හෙට හිරු පායන විට මා සීතලෙන් මියගොස් තිබෙනු ඇතැයි මම ඇයට කීවෙමි. පසුදා උදැසන වාට්‌ටුව පිරිසිදු කිරීමේ කටයුතු සිදුවෙමින් පැවති අතර පසුදා උදේ 7.30 ට පමණ උදේ ආහාර වේල සපයනු පෙනේ. රෝගියා අතට දෙනු ලබන කහ පැහැති එනමල් පිඟාන මත ඇත්තේ කෙසෙල් ගෙඩියක් සමඟ බටර් හෝ ජෑම් තවරා නොමැති ඝනකමැති පාන් පෙත්තකි. බෙලෙක් කෝප්පයක දැමූ තේ කහටද ඒ සමග ලැබිණි. එහෙත් මට ඒ කිසිවක්‌ම නොලැබුණු අතර පැය විසිහතරකින් වත් කිසිදු පානයකින් මගේ මුව නොතෙමුණ බැවින් දිව කට වියළී ගොසිනි. තේ වතුර ස්‌වල්පයක් ඉල්ලා සිටීමෙන් පසු එක් සාත්තු සේවයෙකු වෙතින් මට තේ වීදුරුවක් ලැබිණි. මගේ සුවදුක් පිළිබඳ කිසිදු විමසීමක් නොකළ වාට්‌ටු හෙදියන් මගේ සිරුරේ උෂ්ණත්වය මැන්නේද නැත. ඒ ගැන විමසූ විට ඔවුනගේ නිදහසට කරුණ වූයේ මේ වාට්‌ටුවට මා තල්ලු කර දැමීමට ප්‍රථමයෙන් ඇඳ ඉහපතක් නිකුත් කිරීමේ මූලික ක්‍රියාමාර්ගයවත් ශල්‍යවෛද්‍යවරයා විසින් නොගෙන ඇති බැවින් මා නේවාසික රෝගියකු ලෙස නොසැලකෙන බවයි. මේ අනුව මා රෝහල් ගතවූ මොහොතේ සිට මේ දක්‌වාම රෝහල පිළිගන්නා නිත්‍ය පැවැත්මක් මට තිබී නැත.
H G Wells ගේ "අදෘශ්‍යමාන මිනිසා" බවට දැන් මා පත්ව ඇත. පසුදා උදෙන්ම පළමු දුම්රියෙන්ම මාගේ දියණිය පොට්‌ගර් මහත්මිය කොළඹ සිට මහනුවරට ළඟා වූවාය. රෝහලට පැමිණි ඇය මුලින්ම විමසුවේ උදේ ආහාර වේල පිළිබඳවය. හෙදියගේ පිළිතුර වූයේ ඇඳ ඉහපතක් නොමැති මා සඳහා කිසිවක් ඇණවුම් නොකළ බවයි. මගේ මුස්‌ලිම් මෙහෙකරු උදැසන ආහාරය ගෙන ඒම සඳහා නිවසට පිටත් කර යෑවීමි. ධාන්‍ය කැඳ, බටර් තවරා කර කරන ලද පාන්, බේකන් හා බිත්තරද කිරි තේ ප්ලාසකුවක්‌ද රැගෙන මැදියමට පෙර ඔහු ආපසු පැමිණියේය. සන්ධ්‍යාවේ මා පරික්‍ෂාවට ලක් කළ වෛද්‍යවරයාගේ අදහස වූයේ තව දින කිහිපයකින් උදර ශල්‍යකර්මයකට මා භාජන කළ හැකි බවකි.
සඳුදා මගේ අනෙක් දියණිය ඔන්ඩච්චි මහත්මිය ද කොළඹ සිට රෝහලට පැමිණියාය. දියණියන් දෙදෙනාම මාවනැල්ල තල්ගමුවට මා විසින් පිටත් කර යවන ලද්දේ එහි වැඩ සිටින භික්‍ෂූන් වහන්සේ නමක් කැඳවාගෙන ඒමටය. පුරස්‌ථ ග්‍රන්ථි ආබාධයට ලක්‌වූ වැඩිහිටි ලෙඩුන් මෙම භික්‍ෂුන් වහන්සේගේ කසාය හා බෙහෙත් ගුලිවලින් සුවපත්ව ඇති බව මම අසා ඇත්තෙමි. රෝහලේදී උන්වහන්සේ හමුවීමෙන් පසු මම තවදුරටත් කැතීටරයද සවිකොටගෙනම නිවස බලා ගියෙමි. මා හට ප්‍රතිකාර කිරීම සඳහා උන්වහන්සේ මගේ නිවසට කිහිප වතාවක්‌ම පැමිණි නමුදු මගෙන් අය කළේ රිය කුලිය වූ රු. 12 ක මුදල පමණි. ස්‌වාභාවික අන්දමට මුත්‍රා පහ කිරීමට හැකිවන සේ සුවය ලද මම කැතීටරය ආපසු රෝහල වෙත භාරදුන්නේ තුවාල සිදුර ඉබේම සුවවන්නට ඉඩහරිමිනි.
මූලාශ්‍ර දායකත්වය - දොස්‌තර ආරියසේන ගමගේ, සහ
ප්‍රියන්ත ඉඹුල්ගොඩ මහතා
ඩී. එස්. දයාරත්න
divaina.com/2011/05/29
No comments:
Post a Comment