Saturday, February 18, 2012

මම ඉන්නේ බල්ලෝ රකින්න ‍නෙවෙයි -සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන


Friday, 17 February 2012 02:26

.
කළුබෝවිල රෝහ‍ලේ ඇගයීමේ උළෙල  සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන

රජය තෙල් මිල හා විදුලි බිල වැඩි කරන්නේ කිසි කැමැත්තකින් නොවෙයි. ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මුහුණ දීමට සිදුවන ප්‍රශ්නවලදී රජයකට මෙවැනි දේ සිදු කරන්න වෙනවායැයි සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
දකුණු කොළඹ ශික්ෂණ රෝහ‍ලේ (කළුබෝවිල) ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ආධාර කළ පරිත්‍යාගශිලීන් ඇගයීමේ උත්සවයක් එම රෝහල් පරිශ්‍රයේදී ඊයේ (16) පැවැත් වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ඉතාමත් වැදගත් කොටසක් ඉටු කරන රෝහලක් ලෙස දකුණු කොළඹ ශික්ෂණ රෝහල හඳුන්වන්න පුළුවන්. රෝහල තුළ අද දින පැවැත්වෙන මෙම කාර්යයට සහභාගි වෙන්න අවස්ථාව හිමිවීම ගැන මට ලොකු සතුටක් තියෙනවා. අපේ රටේ නිදහස් සෞඛ්‍ය ගැන කතා කරන විට රජය දරන ආයෝජනය සුළු පටු දෙයක් නොවෙයි. අපි වගේ දුප්පත් රටක් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් රුපියල් බිලියන සියයකට වැඩි මුදලක් වැය කරනවා. දේශීය මුදල් වලිනුත් අනිකුත් ජාත්‍යන්තර සංවිධාන වලිනුත් සෞඛ්‍ය සේවාවට විශාල වශයෙන් ආධාර කරනවා. මේ වසරේදී රුපියල් බිලියන 8000 වැඩි ප්‍රමාණයක් සෞඛ්‍ය සේවාවන් සඳහා ලැබිලා තියෙනවා. මේ සියලු මුදල් නිදහස් සෞඛ්‍යයට ආයෝජනය කරනවා.
රටක් ආර්ථික හෝ භෞතික වශයෙන් සංවර්ධනය වුණාට අපිට සතුටු වෙන්න බෑ. ඒ වගේම ලස්සන ගොඩනැගිලි, පාරවල් හැදුවට රටක් දියුණු වෙන්නෙත් නෑ. රටක් දියුණු වෙන්න නම් නිරෝගිමත් ජනතාවක් ඉන්න ඕන. රජයක් විදියට කොයි තරම් ගැටලු වලට මුහුණ දුන්නත් සෞඛ්‍ය හා අධ්‍යාපනය වෙනුවෙන් කරන ආයෝජනය අඩුවෙලා නෑ. ඒ සඳහා වෙන් කරන මුදල වර්ෂයෙන් වර්ෂයට වැඩි කළා. රජයක් විදියට සෞඛ්‍ය වෙනුවෙන් දරන මුදල ඉදිරි අනාගතය සඳහා කරන ආයෝජනයක්. ජනතාවගේ සෞඛ්‍ය සනීපාරක්ෂාව සඳහා විශාල මුදලක් වැය වෙනවා. මෙම රජය වැය කරන මුදල අපට ඉතිරි කර ගන්න පුළුවන් නම් ජනතාවගේ සංවර්ධනය සඳහා මේ මුදල යොදවන්න පුළුවන්.
මේ වගේ පරිත්‍යාගශීලීන් නිසා සෞඛ්‍ය වෙනුවෙන් රජය උසුලන බර යම් දුරකට හෝ අඩුවෙනවා. මිනිසුන් වෙනුවෙන් මෙවැනි පරිත්‍යාග කරන පරිත්‍යාශීලීන් ඇගයීම අප කළ යුතු දෙයක්. ඔවුන් ඇයගීම තුළින් ප්‍රයෝජන දෙකක් සිදුවෙනවා. එකක් තමයි පරිත්‍යාග කරන්න ඔවුන් තවදුරටත් දිරිමත් වෙනවා. අනිත් කාරණේ තමයි මේවා දකින සමාජයේ අනිත් අය මේ දේවල් සඳහා යොමු වෙනවා.
මේ රෝහ‍ලේ වෛද්‍යවරු බාහිර රෝගීන් 1000ට පමණ එක් දිනකදී බෙහෙත් දෙනවා. සායන සඳහා දවසකට රෝගීන් 2500ක් විතර එනවා. රජයෙන් පාලනය වන රෝහල් හා වෛද්‍ය මධ්‍යස්ථාන 700ක් පමණ දැනට තියෙනවා. මේ රෝහ‍ලේ පමණක් දිනකට මෙතරම් රෝගීන් සංඛ්‍යාවකට ප්‍රතිකාර කරනවා නම් අනිත් රෝහල් ගැන මට කතා කරන්න දෙයක් නෑ. මේ සියලු දේ සඳහා රජයට මුදල් අවශ්‍යයි. මේ කටයුතු කරගෙන යන්න ජනතාව ගැන හිතන පරිත්‍යගශීලීන් එක පැත්තක සිටියදී රට ගැන නොහිතන රජයටත් කරදරයක් වෙන පිරිසකුත් මේ රටේ ඉන්නවා. අධ්‍යාපන අමාත්‍යංශයත්, සෞඛ්‍ය අමාත්‍යංශයත් කොන්ත්‍රාත් අරගෙන කට්ටි පනින පිරිසක් ඉන්නවා. මෙතන තියන ගොඩනැගිල්‍ලේ කටයුතු තවමත් ඉවර කරලා නෑ. ඒක බාර දුන්න කොන්ත්‍රාත්කරුට මම දෙතුන් පාරක් මේ ගැන කතා කරා. තව මාසෙකින් දෙකකින් හදන්නම් කියනවා. මේවා අපි ආපහු හදන්න දෙනවා නම් ආපහු ඇස්තමේන්තු සකස් කරන්න ඕන. ඔන්න ඔය වගේ මිනිස්සුත් එක්ක තමයි අපට වැඩ කරන්න වෙලා තියෙන්නේ. මේ අතරේදි ඇතැම් පිරිස් මානව දයාවෙන් නැති බැරි අයට උදව් කරනවා. පරිත්‍යාගශීලී ව්‍යාපාරිකයින් පිරිසක් අතර තවත් ව්‍යාපාරිකයින් පිරිසක් රටත් ආණ්ඩුවත් අමාරුවේ දානවා. සහනාධාර ක්‍රම, විශ්‍රාම වැටුප් ආදිය රජය දෙන්නේ ජනතාවගේ සුව සෙත සඳහා. මේ වගේ කටයුතු සඳහා රජය ජනතාවගේ ජීවිත නගාසිටුවන්න විවිධ ක්‍රියාමාර්ග ගන්නවා. සමහර විට මේවට අප්‍රසාදය පළ කරනවා.
අපි දැන් ඇතැම් ප්‍රශ්නවලට ගන්න පිළියම් නිසා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් යම් යම් අයට. නමුත් මේ ප්‍රශ්නවලට මේ පිළියම් කළේ නැති වුණොත් අනාගතයේදී මීට වඩා ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවෙනවා. ආර්ථික අපහසුතාවලින් ජනතාව බේරා ගන්න අපට යම් යම් තීරණ ගන්න වෙනවා. ඒවට ඇතැම් අය විරෝධතා දක්වන්න පුළුවන්. විපක්ෂය විරෝධතා දක්වන්නේ ඔවුන්ට කිසිම වගකීමක් නැති නිසා. නමුත් ආණ්ඩුව රටට, ජනතාවට වගකිව යුතුයි. අපි රජයක් විදියට ජනතාව පීඩාවට පත් නොවන ලෙස ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා.
අද මුළු ලෝකයම ගත් විට බරපතළ ආර්ථික අවපාතයක ඉන්නේ. බරපතළ විනාශයන්, ගිනි ගැනීම්, පිපිරීම් ආදිය නිසා විශාල ගැටලුවලට මුහුන දෙන්න වෙලා. මේ ගැටලු වලට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ අපේ රටට විතරක් ‍නෙවෙයි.
ලංකාවේ සෞඛ්‍ය ඇමැති හැමදාම බැනුම් අහනවා. සෞඛ්‍ය ඇමැති කෙනෙක් වෙන්න ඕන බැනුම් අහලා හිනාවෙන්න පුළුවන් කෙනෙක්. හැබැයි මං දෙයක් කියන්න ඕන. මම ඉන්නේ බල්ලෝ රකින්න ‍නෙවෙයි. ජල භීතිකාවට ආදී ලෙඩ රෝගවලට ජනතාවට ගොදුරු වෙන්න දෙන්න බෑ. මම ඉන්නේ මේ රටේ ජනතාව රකින්න.


lakbima.lk

No comments:

Post a Comment