Thursday, February 2, 2012

සටනක්‌ නොකර හෙද ගැටලු 12 ක්‌ විසදා ගත්තා - මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ කියති

ඒමන්ති මාරඹේ

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා සමග පෙරේදා (01 දා) පැවැති සාකච්ඡාවේදී හෙද පුහුණු කාලසීමාව වසර 3 සිට වසර 4 දක්‌වා දීර්ඝ කිරීම ඇතුළු මෙතෙක්‌ නොවිසදී පැවැති හෙද සේවා ඉල්ලීම් 12 ක්‌ සඳහා සටනකට යැමෙන් තොරව කඩිනම් විසඳුම් ලබාගැනීමට රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයට හැකි වූ බව සංගමයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.

අදාළ සාකච්ඡාවේදී හෙද සංගමය විසින් ඉදිරිපත් කරන ලද සියලු ඉල්ලීම් සඳහා පිළිගත හැකි අයුරින් කඩිනම් විසඳුම් ලබාදීමේ අරමුණින් එම ඉල්ලීම් වලට අදාළ චක්‍රලේඛයන් කඩිනමින් නිකුත් කරන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස්‌ ලබා දුන් බව මුරුත්තෙට්‌ටුවේ හිමියෝ කීහ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, ජාතික වැටුප් හා සේවක කොමිසම් සභාව, කළමනාකරණ දෙපාර්තමේන්තුව හා සෞඛ්‍ය අමාත්‍යාංශය ආදී වගකිවයුතු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල ලේකම්වරුන් හා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව මෑත කාලයේ හෙද සේවාවේ ජයග්‍රහණ රැසක්‌ එකවර ලබාගත් එකම සාකච්ඡාව බවද උන්වහන්සේ අවධාරණය කළහ.

කෙසේ වුවද මාර්තු මස පළමු වැනිදා වන විට අදාළ උපදෙස්‌ ක්‍රියාත්මක නොකරන්නේ නම් මාර්තු මස දෙවැනිදා සිට හෙද හෙදියන්ගේ දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්‌ දියත් කිරීමට තම සංගමය කටයුතු කරන බවද බලධාරීන් හට මෙම සාකච්ඡාවේදී දැනුම් දුන් බවද මුරුත්තෙට්‌ටුවේ හිමියෝ සඳහන් කළහ.

නව හෙද සේවා ව්‍යවස්‌ථාව වහාම ක්‍රියාත්මක කර සේවා උසස්‌වීම් ලබාදීම, නිල ඇඳුම් දීමනාව වැඩි කිරීම, වෛද්‍ය සේවයට ලබාදී ඇති දුරකථන දීමනා හෙද සේවයටත් ලබාදීම, හෙද කාර්යමණ්‌ඩලයට තීරු බදු සහිත වාහන ණය ලබාගැනීම හෝ වාහන ණය ලබාදීම, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් හෙද තනතුර වහාම ස්‌ථාපිත කිරීම, හෙද පුහුණු කාලසීමාව වසර 4 ක්‌ දක්‌වා දීර්ඝ කිරීම ඇතුළු හෙද ඉල්ලීම් 12 ක්‌ සඳහා විසඳුම් ලබාදීමට අදාළ සාකච්ඡාවේදී එකඟත්වය පල වී තිබේ.

Divaina 2012.02.03

No comments:

Post a Comment