Sunday, February 26, 2012

හෙද නිලධාරී ඉල්ලීම් ලබා දීමට රජයේ එකඟතා

සන්ධ්‍යා කරුණාරත්න
හෙද නිලධාරීන්ගේ ඉල්ලීම් ලබාදීමට රජය එකඟතාව පළකැර තිබේ.
ඒ අනුව හෙද ආචාර්යවරුන්ගේ දීමනාව රුපියල් 10,000 ක් දක්වා වැඩිකිරීමටත්, හෙද නිලධාරීන්ගේ නිල ඇඳුම් දීමනාව රුපියල් 13,000 දක්වා වැඩි කිරීමටත්, විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන්ට රුපියල් 2000 ක දුරකථන දීමනාවක් ලබා දීමටත් අතිකාල වෙනුවට රේට් ක්‍රමය හඳුන්වා දීමටත්, නව හෙද ව්‍යවස්ථාව අනුව හෙද නිලධාරීන් අන්තර්ග්‍රහණය කිරීමටත්, සේවා අවශ්‍යතාව අනුව වයස අවුරුදු 60 න් පසු 63 දක්වා කොන්ත්‍රාත් පදනම මත හෙද නිලධාරීන් නැවත සේවයේ යෙදවීමටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය අතර පැවැති සාකච්ඡාවකදී මේ ඉල්ලීම් ලබාදීමට රජය එකඟතාව පළකර ඇති බව සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත. හෙද නිලධාරීන්ගේ මේ ඉල්ලීම් ලබාදීමට රජය එකඟතාව පළකර ඇති නිසා ලබන මස 02 වැනිදාට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සාමාජිකයන් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ හෙද නිලධාරී උද්ඝෝෂණ ව්‍යාපාරය තාවකාලිකව අත්හිටවූ බව එම සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ප්‍රකාශ කළහ.
නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ මේ බව ඊයේ (23) පැවැසූහ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ ඉල්ලීම් ලබාදීමට කටයුතු කර තිබේ.
රට පුරා රජයේ රෝහල්වල පවතින උග්‍ර හෙද හිඟයත් සමඟ එක් හෙද නිලධාරියකුට හෙද නිලධාරීන් දෙදෙනකුගේ සේවය සිදුකිරීමට ඇති බවත්, අසරණ රෝගීන් වෙනුවෙන් හෙද නිලධාරීන් සිදු කරන සේවය ඉමහත් බවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ප්‍රකාශ කළහ.
සෞඛ්‍ය ඇමැතිවරයා, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, වැටුප් හා සේවක සංඛ්‍යා කමිටුව, මහා භාණ්ඩාගාර ලේකම්වරයා සමඟ පැවැති සාකච්ඡාවකට අනුව මෙසේ හෙද නිලධාරීන්ගේ ඉල්ලීම් ලබාදීමට රජය එකඟ වී ඇති බවත්, අරගලයකින් තොරව මෙසේ ඉල්ලීම් ජයග්‍රහණය කිරීමට හැකිවීම සතුටුදායක කරුණක් බවත් උන්වහන්සේ පැවැසූහ.
මේ ඉල්ලීම් භුක්ති විඳිමින් රෝගී ජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු හෙද නිලධාරීන්ගේ යුතුකම් ද මානව දයාවෙන් යුතුව රෝගීන්ට ලබාදිය යුතු බව ද උන්වහන්සේ කීහ.
හෙද නිලධාරීන්ගේ අතිකාල වෙනුවට නැවත හඳුන්වා දෙන රේට් ක්‍රමය ඉදිරි මාස තුනක කාලය තුළදී ලබාදීමටත්, මේ සඳහා වැටුප් කොමිසමේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමටත් පියවර ගෙන ඇත. මීට අමතරව ප්‍රජා සෞඛ්‍ය හෙද තනතුර නැවත ස්ථාපිත කරන ලෙස ද සෞඛ්‍ය ඇමැතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
නව හෙද ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමේ මූලික පියවර වශයෙන් හෙද නිලධාරීන් අන්තර්ග්‍රහණය කිරීමේ චක්‍රලේඛය ද මේ වන විට නිකුත් කර ඇත.
මේ මාධ්‍ය හමුවට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ උප සභාපති ඩී. බොරලැස්ස, සංවිධායක ලේකම් ආර්. කේ. බටුවිට, වැඩබලන ලේකම් අශෝකා අබේනායක, හෙද ආචාර්යවරුන්ගේ සංගමයේ ලේකම් ඩබ්ලිව්. ඒ. කීර්තිරත්න මහත්ම මහත්මීහු සහභාගි වූහ.

Dinamina 2012.02.24.

No comments:

Post a Comment