Sunday, February 26, 2012

විදුලි වැට තිබුණා නම් ගීතිකයි අලියයි දෙන්නම බේරෙනවා!

දෙබරවැව අලි - මිනිස්‌ ගැටුමේ ඛේදවාචකය


                                         මියගිය ගීතිකාගේ දේහය   මහ වන මැද අලියා මියගොස්‌ සිටි අයුරු

විදුලි වැට ගහල දුන්න නම් මගේ මේ අහිංසක රත්තරන් දුවගේ ජීවිතය නැති වෙන්නේ නැහැ. මම කොහොමද දෙයියනේ මගේ දුව නැතිව ඉන්නේ........"

වල් අලි පහර කෑමකට ලක්‌ව මියගිය ලුණුගම්වෙහෙර වැලිගත්ත කුඩා ගම්මාන 10 හි පදිංචි ව සිටි එම්. ජී. ගීතිකා මිහිරාණි ගේ මෘත දේහය අසල දුක වාවාගත නොහැකිව හඬා වැළපෙන ඇගේ අම්මාගේ දුක්‌ අඳෝනාව ගම පුරා සිසාරා ගියේ එලෙසිනි.

අලි - මිනිස්‌ ගැටුමේ තවත් ෙ€දවාචකයක්‌ ලෙස පසුගිය දිනක අලුයම හම්බන්තොට වැලිගත්ත කුඩා ගම්මාන 10 ප්‍රදේශයේ දී සිදු වූ මෙම අවාසනාවන්ත මරණය පිළිබඳව මුළු ගමම කම්පාවට පත්ව සිටිති.

හම්බන්තොට රජයේ හෙද විදුහලක පුහුණුව ලැබූ ගීතිකා හෙද විදුහලේ පුහුණුව සඳහා යැමට අසල්වැසි යෙහෙළියක සමඟ තම පියාගේ පාපැදියෙන් යන අතරතුරදී වල් අලි ප්‍රහාරයට ලක්‌ව අවාසනාවන්ත ලෙස මරණයට පත්විය.

ඇගේ පියා ද බරපතළ තුවාල ලබා මාතර රෝහලේ ඇඳක්‌ මත වැතිර දියණියගේ මරණයත් තුවාල නිසා නැගෙන කායික වේදනාවත් දරාගත නොහැකිව හඬා වැළපෙමින් සිටී.

දුප්පත්කමේ පතුලටම ඇද වැටුණු එම්. ජී. සෝමසිරි පවුලේ දෙවැනි දරුවා ලෙස දිළිඳුකමත් රැගෙන උපන් ගීතිකා කුඩාගම්මාන 10 ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා තිබේ.

තිස්‌සමහාරාම පන්නගමුව රාජකීය විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඉහළින් විභාගය සමත් විය.

උසස්‌ පෙළ විභාගය දෙබරවැව ජාතික පාසලෙන් සමත්වූ ඇය දහසක්‌ බලාපොරොත්තු පොදි බැඳගෙන හෙදි පුහුණුව සඳහා හම්බන්තොට හෙද විදුහලට ඇතුළත් වූවාය.

එහෙත් අද ඇගේ යෙහෙළිය පමණක්‌ නොව මවුපියන්, සහෝදර ඥාතීන්, හිතවතුන් සියල්ලම දමා ඇය ගොසිනි. හිත් පිත් නැති දඩබ්බර වල් අලියා ඇගේ හිස පාගා සුනු විසුනු කර ඇත. ඇගේ සුන්දර මුව කමල පරව ඉහිරී ගිය මල්දමක්‌ බඳුය.

අපි සති දෙකකට පමණ පෙර තමයි හෙද පුහුණුව සඳහා හම්බන්තොට හෙද විදුහලට ඇතුළත් වුණේ.

අපේ ගෙවල් ළඟ නිසා ගෙදර ඉඳලා තමයි හෙද පුහුණුවට ගියේ. මේ සිද්ධිය වුණ දවසේ අපේ තාත්තා කුඹුරට ගිහිල්ල ආවේ නැහැ. ඒ නිසා ගීතිකා නංගිත් සමඟ එයාලගේ තාත්තාගේ බයිසිකලෙන් අපි පාරට ගියා බස්‌ එකේ නගින්න.

ඔය යන අතරතුරේ මීටර් තුනක්‌ විතර දුරදී තමයි අපි අලිය දැක්‌කේ. ගීතිකාගේ තාත්තට බයිසිකලේ ආපසු හරවන්න කාලයක්‌ තිබුණේ නැහැ. ඒ නිසා ඔහු අලියා ළඟින් ඉස්‌සරහට යන්න බයිසිකලේ පාර අයිනට දැම්මා. එවිට එකවරම බයිසිකලේ ඇද වැටුණා. මා පැනල දිව්වා. අලිය මා පසුපසින් හඹා ආවා. මා අසල තිබුණු වැටකින් රිංගන්න හදන කොට මා දැක්‌කා අලියා මා ළඟටම ඇවිල්ලා ඉන්නවා. මම අනෙක්‌ පැත්තට හැරිල දුවල ගිහින් ඇරල තිබුණු ගේට්‌ටුවකින් වත්තකට පැන්නා. මා කෑ ගැහුවා මාව බේරගන්න කියලා. ඒ ගෙදර අය මගේ සද්දෙට දොර ඇරගෙන ඇවිත් මාව ගේ ඇතුළට ගත්තා. සදහටම සමුගත් අදරැති මිතුරියගේ සොවින් හඬා වැටෙන හෙද සිසුවිය තම අත්දැකීම විස්‌තර කළේ ඒ අයුරිනි.

ගම්වැදී සිටින වල් අලින් පලවා හැර ගම ආරක්‍ෂා වන ආකාරයට අලි විදුලි වැට ඉදිකර දෙන ලෙසත් ගම් මායිම්ව රක්‍ෂිත ප්‍රදේශයන්වල තිබෙන

ලඳු කැලෑ ඉවත්කර දෙන ලෙසත් උද්ඝෝෂණකරුවෝ ඉල්ලා සිටියහ.

ඒ සියලු ඉල්ලීම් ඉටුකර දීමට හම්බන්තොට දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා පොරොන්දු වීම මත උද්ඝෝෂණය නතර විය.

ඒ අනුව හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා විදුලි වැට ඉදිකිරීමට රුපියල් ලක්‍ෂ 60 කට අධික මුදලක්‌ වෙන් කර දුනි. ඔහුගේ උපදෙස්‌ මත වන ජීවී නිලධාරීන්, යුද හමුදා නිලධාරීන් හා ගුවන් හමුදාවේ නිලධාරීන් යොදවා ගම ආරක්‍ෂා කිරීමේ වැඩසටහනක්‌ ද ක්‍රියාත්මක කෙරිණි.

ගීතිකාගේ ශෝචනීය මරණයෙන් ගම් වැදුණු පසු වල් අලි පලවා හැරීමේ මෙහෙයුමක්‌ වනජීවී නිලධාරීන් විසින් ක්‍රියාත්මක කෙරිණි. නමුත් කලහකාරී ලෙස හැසිරුණු වල් අලියෙක්‌ වනජීවී නිලධාරීන් වෙත පහර දීමට ආවේය. එහි ප්‍රතිඵලය වූයේ වනජීවී නිලධාරියකු සහ යුද හමුදා නිලධාරියකු බරපතළ තුවාල ලැබීම පමණක්‌ නොව එම වල් අලියා ද වෙඩි වැදී තුවාල ලැබීමයි.

එහෙත් එම වල් අලියාට ප්‍රතිකාර කිරීමට වනජීවී නිලධාරීන් ගත් උත්සාහයට හරස්‌ කැපුවේද තවත් වල් අලියෙකි. වෙඩි වැදී සිටි වල් අලියා අසල රැඳෙමින් අලි මිතුරකු රැකවරණය දීම නිසා තුවාල ලැබූ වල් අලියාට ප්‍රතිකාර කිරීමට නොහැකි විය.

පෙරදා රාත්‍රියෙහි සිට පසුදින දවස පුරාම රැකවරණය දුන් එම අලි මිතුරා නිර්වින්දනය කර ගැට ගසා දමා තුවාල ලැබූ වල් අලියාට ප්‍රතිකාර කිරීමට ගිය ද ඒ වන විටත් වල් අලියා අවාසනාවන්ත ලෙස මියගොස්‌ තිබිණි.

ගීතිකාගේ ශෝචනීය සමුගැන්ම ගමේ ආදරණීය ජනතාවගේ හෙට දවස සුරක්‍ෂිත වීමට හේතුවක්‌ වීම දෛවයේ සරදමක්‌ බඳුය.

දෙබරවැව ඒ. ඒ. පේමසිරි

Divaina 2012.02.26

No comments:

Post a Comment