Friday, February 24, 2012

මුලතිව් රෝහල සංවර්ධනයට ජාත්‍යන්තර සංවිධානයක සහාය

කොටි ත්‍රස්‌තවාදීන් විසින් විනාශ කර දැමූ මුලතිව් දිස්‌ත්‍රික්‌ මහ රෝහල සංවර්ධනය කිරීම සඳහා රජය පියවර ගෙන තිබෙන අතර එම රෝහලේ තවදුරටත් සංවර්ධන කටයුතු නැංවීම සඳහා එක්‌සත් ජනපදයේ රාජ්‍ය නොවන ආයතනයක්‌ වන ඇමරිකෙයාර්ස්‌ ජාත්‍යන්තර සංවිධානය එකඟතාව පළකර තිබේ.

සුනාමි ව්‍යසනයෙන් පසු වෙරළබඩ තීරයේ පිහිටි සෞඛ්‍යයාතන සංවර්ධනය කිරීම සඳහා පැමිණි එම සංවිධනාය මේ වනවිට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ප්‍රබල දායකත්වයක්‌ සපයමින් සිටී. ඔවුන් විසින් ත්‍රිකුණාමලය මහ රෝහලේ සංවර්ධන කටයුතු රැසක්‌ රුපියල් දසලක්‌ෂ 100 ක වියදමින් අවසන් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව එම සංවිධානය මුලතිව් මහ රෝහල සංවර්ධනයටද ඉදිරිපත් වී තිබේ. මේ සම්බන්ධව වන අවබෝධතා ගිවිසුමට ඊයේ (22 දා) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අත්සන් තබන ලදී. ඊට වැඩබලන සෞඛ්‍ය ලේකම් වෛද්‍ය පාලිත මහීපාල හා ඇමරිකෙයාර්ස්‌ ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත රමණී කුමාරි පෙරේරා මහත්මිය අත්සන් තැබූහ.

මුලතිව් දිස්‌ත්‍රික්‌ මහ රෝහල සංවර්ධනය කිරීම සඳහා එම සංවිධානය වැය කිරීමට යෝජිත මුදල රුපියල් දසලක්‌ෂ 118 කි. මේ අනුව එම රෝහලේ මහල් දෙකකින් සමන්විත ශල්‍ය වෛද්‍ය වාට්‌ටු සංකීර්ණයක්‌, මහල් දෙකකින් සමන්විත වෛද්‍ය නිල නිවාසයක්‌ හා මහල් 03 කින් සමන්විත විශේෂඥ වෛද්‍ය නිල නිවාසයක්‌ද ඉදිකිරීමට යෝජිත අතර ශල්‍ය වෛද්‍ය වාට්‌ටු සංකීර්ණය තුළ දැඩි සත්කාර ඒකකයක්‌ හා මෙම ගොඩනැඟිලිවලට අවශ්‍ය සියලු වෛද්‍ය උපකරණ හා වෙනත් උපකරණ ද ලබා දීමට නියමිතය.

වැඩබලන සෞඛ්‍ය ලේකම් වෛද්‍ය පාලිත මහීපාල හා ඇමරිකෙයාර්ස්‌ ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත රමණී කුමාරි පෙරේරා මහත්මිය අදාළ අවබෝධතා ගිවිසුම හුවමාරු කරගත් අයුරු මෙහි දැක්‌වේ. මෙම අවස්‌ථාවට ඇමරිකෙයාර්ස්‌ සංවිධානයේ ව්‍යාපෘති කළමණාකරු රංජිත් හේමචන්ද්‍ර. වෛද්‍ය තුෂාර පෙරේරා සහ වෛද්‍ය ආර්. කේ. එස්‌. විඡේසූරිය යන මහත්වරු ද සහභාගි වූහ.

Divaina 2012.02.23

No comments:

Post a Comment