Wednesday, February 29, 2012

දිවයින පුරා සෞඛ්‍ය සේවකයෝ අද ලෙඩවෙති

2012 පෙබරවාරි 29 වෙනි බදාදා, 02:56
පද්මිණි මාතරගේ

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා රෝහල් ගණනාවක සෞඛ්‍ය සේවකයෝ අද 29 ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වෙති. කොළඹ කාසල් රෝහල බොරැල්ල ළමා රෝහල, මහරගම පිළිකා රෝහල හැර අනිකුත් ප්‍රධාන රෝහල්වල සේවකයෝ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන අතර, කොළඹ ජාතික රෝහල ඉදිරිපිටට සේවකයන් එක්ව දැවැන්ත ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන අතර, කොළඹ ජාතික රෝහල ඉදිරිපිටට දහවල් 12.00ට සෞඛ්‍ය සේවකයන් එක්ව දැවැන්ත විරෝධතා පා ගමනක්ද සංවිධානය කර තිබෙන බව සමස්ත ලංකා සුව සේවා සංගමය පවසයි.

එහිදී සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධතාවයන් පැවැත්වීමට නියමිත යැයි ද එම වෘත්තීය සංගමයේ ප්‍රධාන ‍ලේකම් හෙද නිලධාරී ගාමිණී කුමාරිසිංහ මහතා “ලක්බිම”ට කීය.

සෞඛ්‍ය කාර්ය සහයක සේවාවට අයත් ශ්‍රේණිවල හා උපස්ථායක සේවාවේ ගැටලු විසඳන ලෙසට සිය සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය වෙතින් දිගින් දිගටම ඉල්ලීම් කරනු ලැබූවද ඒවා විසඳීමට අදාළ බලධාරීන් පියවර ගෙන නැති බවද ඒ මහතා කීය.

ඒ අනුව 3000ක් පමණ වූ ආදේශක සේවකයන් ස්ථීර කිරීම, සති විවේක දින කප්පාදුව නතර කිරීම, සෙනසුරාදා දිනය වැඩ කිරීම වෙනුවෙන් මූලික වැටුපෙන් 30න් 1ක් දීමනාවක් ලබා ගැනීම, නිල ඇඳුම් දීමනාව, දීමනාව ලබා නොදීම, උපස්ථායක පුහුණුවට වාර්ෂිකව විධිමත්ව බඳවා නොගැනීම, ශ්‍රේණිගත කිරීම සිදුනොකිරීම, වැටුප් වර්ධක ලබා නොදීම, සේවා ව්‍යවස්ථාවක් ලබා නොදීම, අදාළ නොවන රාජකාරී බලහත්කාර ලෙස ඉටු කරවා ගැනීම යන කරුණු මුල් කර ගනිමින් මෙම විරෝධතාවය පවත්වන බවද ඔහු කීය.
සිය වෘත්තීය සංගමය විසින් ගනු ලබන මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය මගින් රෝහල් සේවාවට සිදුවන සියලු බාධා, ප්‍රතිකාර සේවා බිඳවැටීම් පිළිබඳ වගකීම් සෞඛ්‍ය අමාත්‍යංශය බාරගත යුතු යැයිද ඒ මහතා කීය.

lakbima.lk

1 comment:

  1. මේවා කවදනම් විසදෙන ගැටලුද..

    ReplyDelete