Friday, February 24, 2012

අමාත්‍ය මණ්ඩල තීරණ - 2012. 02. 22

2012 පෙබරවාරි 23 වෙනි බ්‍රහස්පතින්දා, 14:08
  (කොළඹ, ලංකාපුවත්) –
01.රෝහල්වලට නියමිත කාලයේ දී ඹෟෂධ භාරදී‍මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය
සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යෝජනාවක් අනුව රෝහල්වලට ඹෟෂධ ඇතුළු වෛද්‍ය සැපයීම් නියමිත කාලයේ දී භාරදෙනු වස් ක්‍රමානුකූල ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
පසුගිය කාලයේ දී ඇතැම් අවස්ථාවන්හි දී රජයේ රෝහල්වෙත ඹෟෂධ සැපයීමේ දී ඇති වු ප්‍රමාද වැළැක්වීම සඳහා මෙන් ම ප්‍රසම්පාදන කටයුතු වර්ධනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනු කාරක සභාවක් හා ස්ථාවර ප්‍රසම්පාදන අනු කමිටුවක් ද මෙයට පෙර ගන්නා ලද අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි පත්කර තිබුණි.


ඉහත අනු කමිටුවේ යෝජනා හා නිර්දේශ සැලකිල්ලට ගෙන ඹෟෂධ සැපයීමේ ප්‍රමාදයන්, ඌනතාවයන් හා අපතේයාම් වැළැක්වීම සඳහා නිසි වැඩපිළිවෙළක් මේ අනූව ක්‍රියාත්මක කෙරේ.


02. කුකුළු ගොවිපළ සංවර්ධනය සඳහා සමාගමක්
පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ යෝජනාවක් අනූව ශ්‍රී ලංකාවේ කුකුළු ගොවිපළ සංවර්ධනය කිරීමේ අරමුණින් සීමාසහිත ශ්‍රී ලංකා පශු සම්පත් සංවර්ධන පෞද්ගලික සමාගම යනුවෙන් පූර්ණ රාජ්‍ය සතු සමාගමක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

ලිබියා, ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් වන ලෑන්ඩ් ලිබ් ආයතනය සතු කොටස් 49%ක් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් මිලදී ගෙන මෙම සමාගම පිහිටුවීමට කටයුතු කරනු ලැබේ.


03. පර්යන්ත ලේ බැංකු ඉදිකිරීම හා වැඩිදියුණු කිරීම සඳහා නෙදර්ලන්ත ආධාර


සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යෝජනාවක් අනුව ජාතික රුධිර පාරවිලයන සේවා වැඩිදියුණු කිරීම සඳහා දිවයිනේ හඳුනාගත් පර්යන්ත ලේ බැංකු මධ්‍යස්ථාන 19ක් වැඩිදියුණු කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණ.


ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය මඟින් සියළුම රජයේ රෝහල් වෙත හා පෞද්ගලික රෝහල් බොහොමයකට අවශ්‍ය රුධිරය හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සපයනු ලබයි. මේ සඳහා පර්ශද මධ්‍යස්ථාන 15ක් හා රෝහල් මට්ටමින් ලේ බැංකු 60ක් ක්‍රියාත්මකය.


මෙම නව‍ යෝජනාවට අනූව යූරෝ මිලියන 21ක නෙදර්ලන්ත ආධාර යටතේ ලේ බැංකුවේ පර්යන්ත මධ්‍යස්ථාන 19ට නවීනතම අධි තාක්ෂණ උපකරණ හා යටිතල පහසුකම් සැපයීම නෙදර්ලන්ත සමාගම වෙත පැවරීමට ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි.


මෙම ආධාර මගින් අනෙකුත් ලේ බැංකු සඳහා ද අවශ්‍ය නවීන උපකරණ සපයාදීම ද සිදුකරනු ලැබේ.

04. වේයන්ගොඩට ගුවන් පාලමක්
මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ යෝජනාවක් අනූව වේයන්ගොඩ දුම්රිය හරස් මාර්ගයට ඉහළින් ගුවන් පාලමක් ඉදිකිරීම සඳහා ස්පාඤ්ඤයේ බැංකෝ බිල් බාඕ විස්කෙයා ආජන්ටරියා බැංකුවෙන් ( BBVA Bank) මූල්‍ය ආධාර ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

උඩරට , උතුරු සහ නැගෙනහිර පළාත් සඳහා වන ප්‍රධාන දුම්රිය මාර්ගය වේයන්ගොඩ හරහා ගමන් කරයි. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල හා නිදහස් වෙළෙඳ කලාපය වෙත ප්‍රධාන ප්‍රවේශ මහා මාර්ගයක් වන B 208 මාර්ගයේ වේයන්ගොඩ නගර මධ්‍යයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය හේතුවෙන් නිරතුරු ව රථවාහන තදබද ඇති වේ. එහෙයින් එම දුම්රිය හරස් මාර්ගයට ඉහළින් ගුවන් පාලමක් ඉදි කිරීමට තීරණය කරන ලදී.

මේ සඳහා යූරෝ මිලියන 11.23ක ණය ගිවිසුම් දෙකකට අත්සන් කිරීමට නියමිතය.


05. සෞඛ්‍ය සේවා වැඩිදියුණුවට රුපියල් මිලියන 5509ක ජයිකා ආධාර


මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ යෝජනාවකට අනුව සංවර්ධනය වෙමින් පවතින ප්‍රදේශයන්හි මූලික සෞඛ්‍ය සේවාවන් වැඩිදියුණු කිරීමට ජපාන යෙන් මිලියන 3935ක (රුපියල් මිලියන 5509ක) ණය ආධාරයක් ලබා දීමට ජපන් රජය එකඟ වී ඇත.


මෙහි එක් පියවරක් ලෙස රාජ්‍ය ඹෟෂධ නීතිගත සංස්ථාවේ වාර්ෂික ඹෟෂධ නිෂ්පාදන ධාරිතාවය පෙති මිලියන 4000ක් දක්වා වැඩිකරනු වස් නව නිෂ්පාදන යන්ත්‍ර 4ක් සහ නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය අනෙකුත් උපකාර යන්ත්‍ර ස්ථාපිත කරනු ලැබේ.


මෙම ආධාර යටතේ මධ්‍යම, සබරගමුව, වයඹ, උතුරු මැද, ඌව, නැ‍‍ගෙනහිර හා උතුර පළාත්වල පිහිටි රෝහල් සඳහා ගිලන් රථ 124ක් ප්‍රසම්පාදනය කරනු ලැබේ.


මෙයට අමතර ව මධ්‍යම සබරගමුව, වයඹ, උතුරු මැද පළාත්වල පිහිටි තෝරාගත් ද්වීතීක ආරෝග්‍ය ශාලාවලට අවශ්‍ය නවීන හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවන් සැපයීමට අවශ්‍ය උපකරණ හා යටිතල පහසුකම් මෙම ණය ආධාර යටතේ සපයනු ලැබේ.


මෙම ණය ආධාර ලබා ගැනීමට ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (ජයිකා) ණය ගිවිසුමට එළැඹීමට නියමිතය.


06. ජපන් භාෂා ඉගැන්වීමේ උපකරණ ප්‍රසම්පාදනය සඳහා ජයිකා වෙතින් රු.මි. 70ක ප්‍රදානයක්

කැලණිය හා සබරගමු විශ්වවිද්‍යාලවල ජපන් භාෂා ඉගැන්වීමේ පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ජපාන යෙන් මිලියන 48ක් (රු.මි. 70) වටිනා ඉගැන්වීමේ උපකරණ ලබා දීමට හා එයට අවශ්‍ය යටිතල පහුසකම් සැපයීමට ජයිකා ආයතනය ඉදිරිපත් වී ඇත.

රටේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි වෘත්තීමය වශයෙන් වඩාත් දක්ෂ උපාධිධාරීන් බිහිකිරීමට අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් මෙම විශ්වවිද්‍යාලවලට සැපයීම මෙම ආධාර මගින් සිදු කෙරේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ යෝජනාවක් අනුව මෙම ප්‍රදාන ලබා ගැනීම සඳහා ජයිකා ආයතනය සමඟ ගිවිසුමකට එළැඹීමට නියමිතය.


07. වෛද්‍ය හා කාර්මික උපකරණ සඳහා ජපානයෙන් යෙන් මිලියන 300ක ප්‍රදානයක්


ජනාධිපතිතුමා විසින් කරන ලද තවත් යෝජනාවක් අනුව ජයිකා ආයතනය වෙතින් ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධන කටයුතු සඳහා තවත් යෙන් මිලියන 300ක (රු.මි. 420ක්) ප්‍රදානයක් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය.


මෙමගින් ශ්‍රී ලංකාවේ ශික්ෂණ‍ රෝහල්, ද්වීතිය රෝහල් සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ද සේවා පුළුල් කිරිම සඳහා අවශ්‍ය නව වෛද්‍ය උපකරණ සැපයීමට නියමිතය.


මෑත දී සිදු වු ආපදාවන්ගෙන් විපතට පත් වු පෙදෙස්වල වෙසෙන ජනතාවට අවශ්‍ය පානීය ජල පහසුකම් සැපයුම සඳහා ජල පිරිපහදු උපකරණ සැපයීම සහ පළාත් හා ග්‍රාමීය දුෂ්කර මාර්ග සංවර්ධනය සඳහා අවශ්‍ය කැනීම් යන්ත්‍ර සැපයීමට ද මෙම ආධාර මුදල් යොදා ගනු ලැබේ.

08. කිලිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා ජයිකා ආයතනයෙන් රුපියල් මිලියන 982ක ප්‍රදානයක්

කිලිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතිය මුළුමනින්ම නැවත ප්‍රතිසංස්කරණ කිරීම සඳහා යෙන් මිලියන 677 ක ප්‍රදානයක් ලබා දීමට ජයිකා ආයතනය එකඟත්වය පළ කොට ඇත.

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ජල ආශ්‍රිත රෝග අවම කිරීම සහ දිස්ත්‍රික්ක‍යේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් වැඩිදියුණු කිරීමේ අරමුණින් යුතුව ක්‍රියාත්මක කිරිමට නියමිත මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රදේශයට සපයනු ලබන පානීය ජලය පිරිපහදු කිරීමේ පහසුකම් සැලසීම සහ ජලය සැපයීමේ ක්‍රියාකාරීත්වය පුළුල් කිරීම මෙමගින් සිදු කෙරේ.

මේ යටතේ කිලෝ මීටර් 42ක දුර ප්‍රමාණයක් ආවරණය කරමින් භූගත ජලය පරන්තන් හා ඉරනමඩු දක්වා සැපයීමට කටයුතු කෙරේ. මෙමගින් දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 14කට අයත් 20,000කට අයත් ජනතාවට සෙත සැලසෙනු ඇත.

No comments:

Post a Comment