Tuesday, February 28, 2012

පෞද්ගලික රෝහල් පනත සංශෝධනයට පියවර ගන්නවා ඇමැති මෛත්‍රීපාල සිරිසේන

කරාපිටිය - අජිත් නිරෝෂන්


පෞද්ගලික රෝහල් පනත සංශෝධනයට පියවර ගන්නා බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ඉකුත්දා (24දා) ගාල්ලේ දී පැවති දකුණු පළාත් වෛද්‍ය සමුළුව අමතමින් හෙතෙම මෙසේ ද කීය.


පෞද්ගලික රෝහල් සම්බන්ධයෙන් තිබෙන පනත ඉතාමත් දුර්වල පනතක්‌. ඒ නිසා එම පනත සංශෝධනය කරනවා. පනත ශක්‌තිමත් කිරීම වාගේම රජයේ ප්‍රතිපත්ති පිළිගෙන පෞද්ගලික රෝහල් ශක්‌තිමත් විය යුතුයි. ඒ සඳහා සේවාවන් ලබාදිය යුතුයි. පනත සංශෝධනය කරනවා වාගේම අලුත් වැඩපිළිවෙළක්‌ මෙම වසරේ සිට ආරම්භ කරනවා. ඒ මාස හතරකට වරක්‌ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරුන්, ආචාර්ය මහාචාර්යවරුන් හා ප්‍රවිණයන්, ප්‍රධානීන් ගෙනල්ලා සාකච්ඡා කරලා ගැටලු නිරාකරණයට පියවර ගන්නවා.


ඇතැම් රෝහල් ජනප්‍රිය වීමටත්, තවත් ඒවා, කඩාවැටීම් විවේචන එල්ලවීම්, ඇඟිලි ගැසීම් ඇති වීමට හේතුව තමයි එම ආයතනවලට දෙන නායකත්වය කළමනාකරණය කිරීමේ දක්‌ෂතාවය හා හැකියාවයි. නායකත්වය හා කාර්ය මණ්‌ඩලය සාමූහිකව කණ්‌ඩායමක්‌ විදියට වැඩ කිරීම මගින් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. නායකත්වයන්හි තිබෙන කැපවීම් හා දුර්වලතා නිසා පසුබෑම් ඇති වන අංශත් තිබෙනවා. මේ ක්‍ෂේත්‍රයේ සිටින සියලු දෙනා උගතුන්. එහෙත් බෙදීම්, කඹ ඇදීම්, අසමගිකම් නිසා අපි අපේක්‍ෂා කරන පොදු ඉලක්‌ක වෙත යන්න බැරිවෙනවා. නව පත්වීම් ලබන වෛද්‍යවරුන්ගෙන් ඇමැතිවරයා, ඉල්ලීමක්‌ද කළේය. පසුගිය වසරේ නවක පත්වීම් ලද වෛද්‍යවරුන් 72 ක්‌ පිටරට සේවයට ගිහිල්ලා. මෙලෙස යන අයගෙන් මා ඉල්ලනවා අඩුම ගානේ අවුරුදු 05 ක්‌ බැරි නම් 03 ක්‌ හරි ලංකාවේ සේවය කරන්න කියලා. මේ ගැන ආකල්පමය වෙනසක්‌ වෛද්‍ය පීඨවල සිටම ඇති කළ යුතුයි.

Divaina 2012. 02. 28

No comments:

Post a Comment