Monday, March 5, 2012

බැක්ටීරියා ශරීරගතවීමෙන් ගාල්ල මහ මෝදර රෝහ‍ලේ තවත් ළදරු මරණයක්

2012 මාර්තු 05 වෙනි සදුදා, 03:23

ශානිකා මාධවී / කමල් විජේහේවා - ගාල්ල

දැනට ළදරු මරණ සංඛ්‍යාව 7ක්

බැක්ටීරියාවක් ශරීරගතවීමෙන් ගාල්ල මහ මෝදර රෝහ‍ලේදී පසුගිය දින කිහිපය ඇතුළත සිදුවූ මරණ සංඛ්‍යාවට ඊයේ (04) තවත් ළදරු මරණයක් වාර්තා වීමෙන් මියගිය ළදරු මරණ සංඛ්‍යාව 7 දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය දින කිහිපය තුළ විෂබිජ ශරීරගතවීම හේතුවෙන් ළදරුවන් 6ක් මරුමුවට පත්ව ඇති බවත් තවත් ළදරුවන් 20දෙනකු රෝගී තත්ත්වයෙන් එම රෝහ‍ලේ පසුවන බවත් පසුගිය 03දා මාධ්‍ය මගින් හෙළිකෙරුණි. එම අනාවරණය කිරීම අනුව රෝගී තත්ත්වයෙන් පසු වූ ළදරුවන් 20 දෙනා අතරින් තවත් ළදරුවෙක් මෙසේ මරණයට පත්ව ඇත.

මේ සම්බන්ධයෙන් ගාල්ල කරාපිටිය රෝහ‍ලේ විශේෂ වෛද්‍ය කණ්ඩායමක් සිදුකළ පරීක්ෂණයකදී බැක්ටීරියාවක් ශරීරගතවීමෙන් මෙම ළදරු මරණ සිදු වී ඇති බවට කරුණු අනාවරණය කරගෙන ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ පිළිබඳව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා මෙසේ අදහස් දැක්වීය,
පසුගිය සති 2ක කාලය තුළ ගාල්ල මහමෝදර නොමේරූ ළදරු ඒකකයේ ළමයින් 7ක් මිය ගිහින් තියෙනවා. මේකට හේතුව විදිහට සැක කරන්නේ මේ ඒකකයට විෂබිජයක් ඇතුළුවෙලා කියන එකයි. අපි යෝජනා කරන්නේ මේ තත්ත්වය තුළ මේ ඒකකය තවදුරටත් පවත්වාගෙන යන්නේ නැතුව මේ රෝගී ළමයි වෙනත් රෝහල්වලට මාරුකළ යුතුයි කියලා. පසුව මේ නොමේරූ ඒකකයට රසායනික ද්‍රව්‍ය දාලා විෂබිජ හරණය කරලා නැවත ඒකකයේ තත්ත්ව පරීක්ෂාවක් කරලා එම ඒකකය පවත්වාගෙන යාමට සුදුසුද කියලා සොයා බැලිය යුතුයි.

මහමෝදර මේ නොමේරූ ළදරු ඒකකය පවත්වාගෙන යන ගොඩනැගිල්ල ඉතාම පරණ ගොඩනැගිල්ලක්. සුනාමි අවස්ථාවේදීත් මේ රෝහලට හානි සිදු වුණා. මේ මහමෝදර රෝහල කරාපිටියට ගෙන යන්න යෝජනා වී තිබුණත් මතෛක් එය සිදු වුණේ නෑ. මේ විදිහට දිගටම මේ ස්ථානයේ රෝහල පවත්වාගෙන යන නිසයි මෙවැනි ගැටලු රැසක් පැන නගින්නේ

lakbima.lk

No comments:

Post a Comment