Friday, January 6, 2012

කාලෝ හැලීමේ කලාව



ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපති ධුරයට මහාචාර්ය කාලෝ ෆොන්සේකා පත් කිරීම පිළිබඳව වෛද්‍ය ක්‌ෂේත්‍රය තුළින්ම දැඩි විරෝධතාවයක්‌ මතුව තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු එවැනි විශේෂඥ වෛද්‍ය සංගම් 40 ක්‌ විසින් පසුගිය දෙසැම්බර් මස 05 වැනිදා පැවැති විශේෂ රැස්‌වීමකදී මහාචාර්ය ෆොන්සේකා විරෝධී සටන දැඩි කළ අතර ඔහුව පත් නොකර හිටපු වෛද්‍ය සභා සභාපතිනි මහාචාර්ය ලලිතා මෙන්ඩිස්‌ මහත්මියව වෙනත් සුදුස්‌සකු පත් කරන තෙක්‌ වෛද්‍ය සභා සභාපති ධුරයේ රඳවා ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගෙන් එම සංගම් විසින් ඉල්ලා සිටිනු ලැබීය.

මේ වන විටද උණුසුම්ව පවතින මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අර්බුදය හමුවේ වැදගත් කාර්යභාරයක්‌ ඉටු කිරීමේ වගකීම පැවැරෙන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට මහාචාර්ය ෆොන්සේකා පත් කිරීමෙන් රජයට වාසිසහගත ලෙස එම අර්බුදය විසඳෙනු ඇතැයි යන්න මෙම වෛද්‍ය සංගම්වල මතය වී තිබේ.

වෛද්‍ය සභාවේ හිටපු සභාපතිනි මහාචාර්ය ලලිතා මෙන්ඩිස්‌ මහත්මිය මෙන්ම ලේඛකාධිකාරී වෛද්‍ය නෝනිස්‌ මහතා මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට නීත්‍යානුකූලභාවය ලබා දීම සඳහා එම විද්‍යාලයේ පවතින අඩුපාඩු සකස්‌ කර ගත යුතු බවට දැඩි ස්‌ථාවරයක සිටි බව සැවොම දන්නා කරුණකි. මෙම තත්ත්වය නිසාම ඔවුනට තර්ජනවලට පවා මුහුණ දීමට සිදු වූ අතර වෛද්‍ය නෝනිස්‌ මැර ප්‍රහාරයකට පවා ලක්‌ විය.

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අර්බුදය හැරුණු විට රුසියාවේදී පශ්චාත් වෛද්‍ය උපාධිය ලබා ගත් බව පවසමින් වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ගැනීම සඳහා වෛද්‍ය උපාධි සහතික ඉදිරිපත් කළ ලියාපදිංචි හා සහකාර වෛද්‍ය නිලධාරීන් 70 දෙනකු පමණ ව්‍යාජ වෛද්‍ය උපාධි සහතික ඉදිරිපත් කර ඇති බවට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා ඉදිරිපත් කළ අතර වෛද්‍ය සභාව ඔවුනට ලියාපදිංචිය ලබා දීමට තැත් කරන බවටද සංගමය චෝදනා කළේය. මෙහිදී වෛද්‍ය සභාවේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක්‌ කරන ලද්දේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වන අතර එම විරෝධතාවය නිසාම අදාළ වෛද්‍ය නිලධාරීන්ට ලියාපදිංචිය ලබාදීම ප්‍රමාද වන්නට විය.

මෙවැනි අර්බුදයන් හමුවේ විටෙක වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පැසසුම් ලබමින්ද තවත් විටෙක විවේචනයන්ට ගොදුරු වෙමින්ද සිය කටයුතු කරගෙන යාමට වෛද්‍ය සභාවට සිදු විය. එහෙත් සියල්ල උඩු යටිකුරු වූයේ වෛද්‍ය සභාවේ සභාපතිනි මහාචාර්ය ලලිතා මෙන්ඩිස්‌ මහත්මිය තම ධුර කාලය ඉතිරිව තිබියදී ධුරයෙන් ඉල්ලා අස්‌වීමේ ලිපිය සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාර දීමත් සමඟය.

සැබැවින්ම ඒ වන විටද මහාචාර්ය මෙන්ඩිස්‌ මහත්මියට මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අර්බුදය සම්බන්ධව දැරූ ස්‌ථාවරය මත තර්ජන එල්ල වී තිබූ බව මාධ්‍යයන්ට ප්‍රකාශ කරන ලද්දේද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසිනි. එවැනි වාතාවරණයක්‌ තුළ මහාචාර්ය මෙන්ඩිස්‌ විසින් ඉල්ලා අස්‌වීමට ගත් තීරණයට විරුද්ධවූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සුදුස්‌සකු පත් වන තෙක්‌ ඇය තවදුරටත් සභාපති ධුරයේ රැඳී සිටිය යුතු බව අවධාරණය කර සිටියේය.

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා විශේෂඥ වෛද්‍ය සංගම් 40 ක මතය වූයේද මහාචාර්ය මෙන්ඩිස්‌ තවදුරටත් වෛද්‍ය සභා සභාපති ධුරයේ රැඳී සිටිය යුතු බවයි. එය එසේ සිදු විය යුතු බවට එම සංගම් විසින් දෙසැම්බර් 05 වැනිදා ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේදී පැවැති විශේෂ රැස්‌වීමකදී එකඟතාවයක්‌ද ඇති කර ගත්හ.

මහාචාර්ය මෙන්ඩිස්‌ මහත්මියද එම ඉල්ලීමට එකඟ වෙමින් තවදුරටත් වෛද්‍ය සභා සභාපති ධුරයෙහි රැඳී සිටීමට කැමැත්ත පළ කළද සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා එම අවස්‌ථාව වන විටද මහාචාර්ය මෙන්ඩිස්‌ගේ ඉල්ලා අස්‌වීමේ ලිපිය පිළිගෙන තිබිණි. වෛද්‍ය ක්‌ෂේත්‍රයේ වෘත්තීන් 50 කට අධික සංඛ්‍යාවක වෘත්තීය ප්‍රමිතිය ආරක්‌ෂා කිරීමේ කාර්ය භාරය ර¹ පවතින ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මුල් පුටුවට වෛද්‍ය සභාවේ සාමාජිකයකු නොවන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පත් කිරීමට යන බව මේ වනවිටද වෛද්‍ය සංගම්වල කන වැකී තිබිණි.

එම අවස්‌ථාවේ සිටම මහාචාර්ය ෆොන්සේකා වෛද්‍ය සභා සභාපති ධුරයට පත් කිරීම වැළැක්‌වීමට වෛද්‍ය සංගම් දැඩි උත්සාහයක නිරත වුවද එම උත්සාහයන් නිෂ්ඵල කරමින් සෞඛ්‍ය ඇමැතිවරයා මෙම වසරේ ජනවාරි පළමුවැනිදා මහාචාර්ය ෆොන්සේකා එම ධුරයට පත් කළ අතර ඔහු පසුදාම (සඳුදා) සිය ධුරයේ වැඩ භාර ගත්තේය.

වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් ඇතුළු විශේෂඥ වෛද්‍ය සංගම් මහාචාර්ය ෆොන්සේකා ප්‍රතික්‌ෂේප කරන්නේ ඇයි? එම සංගම් මෙසේ මහාචාර්ය ෆොන්සේකා විරෝධී සටනක්‌ දියත් කර තිබියදී සෞඛ්‍ය ක්‌ෂේත්‍රයේ වෙනත් වෘත්තීන් ඒ සම්බන්ධව නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කරන්නේ ඇයි? යන ගැටලු මෙහිදී පොදු මහජනතාව තුළ හට ගෙන ඇති ගැටලුව වනු නොඅනුමානය.

අප මෙහිදී මහාචාර්ය ෆොන්සේකාට වෛද්‍යවරුන්ගේ සංගම් මේ සා දැඩි විරෝධයක්‌ දක්‌වන්නේ ඇයිද යන්න පළමුව විමසා බලමු. මහාචාර්ය ෆොන්සේකා යනු වෛද්‍ය විද්‍යාව පිළිබඳව ඉමහත් දැනුම් සම්භාරයක්‌ පවතින වෛද්‍ය විශේෂඥයෙකි. අද ඔහුට විරෝධය දක්‌වන පිරිස අතර ඔහුගෙන් වෛද්‍ය විද්‍යා දැනුම ලැබූ පිරිසක්‌ද සිටීම කෙනකුට පුදුමය දනවන්නක්‌ විය හැකිය. එහෙත් වර්තමානයේ පවතින යථාර්ථයද එයයි.

මෙහිදී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය උපුල් ගුණසේකර මහතා පවසනුයේ 1927 වසරේ ඇරැඹි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ගත වූ 85 වසරක ඉතිහාසය තුළදී වෛද්‍ය සභා සභාපතිවරයකු පත් කිරීම සම්බන්ධයෙන් අර්බුදකාරී වාතාවරණයක්‌ හට ගත් ප්‍රථම අවස්‌ථාව මෙය වන බවයි. වෛද්‍ය සභා සභාපති ධුරයට සුදුස්‌සකු පත් කිරීමේ බලය ඇත්තේ සෞඛ්‍ය ඇමැතිවරයාට වුවද එසේ සභාපති ධුරයට පත් කරනු ලබන තැනැත්තා වෛද්‍ය සභා ආඥ පනතට අනුව එම සභාවේ සාමාජිකයකු විය යුතු බව පෙන්වා දෙන වෛද්‍ය ගුණසේකර මහාචාර්ය ෆොන්සේකා වෛද්‍ය සභාවේ සාමාජිකයකු නොවීම නිසා ඔහුගේ පත්වීම නීත්‍යනුකූල නොවන බව ප්‍රකාශ කරයි.

වෛද්‍ය සභාවේ සාමාජිකයකු නොවන අයකු එම සභාවේ සභාපති ධුරයට පත් කර ඇත්තේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බවත් එවැනි පත්වීමක්‌ දේශපාලන පත්වීමක්‌ වන නිසා එමගින් වෛද්‍ය සභාවේ ස්‌වාධීනත්වයට හානියක්‌ වන බව වෛද්‍ය ගුණසේකර පෙන්වා දෙයි.

අනෙක්‌ අතට මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට නීත්‍යනුකූලභාවය ලබා දීම සම්බන්ධව ගැටලු මතුව ඇති අවස්‌ථාවකද මෙවැනි දේශපාලන පත්වීම් හරහා එවැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ලියාපදිංචි කර ගැනීමට බලධාරීන්ට අවස්‌ථාව ලැබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

මෙකී කාරණා හේතුවෙන් වහා මෙම දේශපාලන පත්වීම අවලංගු කර වෛද්‍ය සභාවේ සභාපති ධුරයට එම සභාවේම සාමාජිකයකු වන සුදුස්‌සකු පත් කළ යුතු බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙහිදී දරන ස්‌ථාවරයට අනෙකුත් වෛද්‍ය සංගම්ද සහාය දක්‌වන බව නොරහසකි. එහෙත් වෛද්‍ය සභාව යනු හුදෙක්‌ වෛද්‍යවරුන්ගේ සේවාවේ පමණක්‌ ප්‍රමිතිය හා අයිතීන් තහවුරු කරන ආයතනයක්‌ නොවන බව අප අමතක නොකළ යුතුය. හෙද, පරිපූරික වෛද්‍ය සේවාව ඇතුළු සෞඛ්‍ය වෘත්තීන් ගණනාවකටද මෙම ආයතනයේ කටයුතු බලපානු ලබයි.

එහෙත් කොතරම් තම වෘත්තීන් කෙරෙහි වෛද්‍ය සභාවේ බලපෑමක්‌ ඇතත් වෛද්‍යවරුන්ගේ සංගම් හැරෙන්නට මහාචාර්ය ෆොන්සේකා විරෝධී සටනට මෙතෙක්‌ අනෙකුත් සෞඛ්‍ය වෘත්තික සංගම් එළිපිට සහාය දැක්‌වීම හෝ විරෝධය පෑමක්‌ සිදු නොකිරීම බොහෝ දෙනකුගේ විමතියට හේතු වනු නොඅනුමානය.

සෞඛ්‍ය වෘත්තීන් ගණනාවක්‌ නියෝජනය කරන සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය මෙම නිහඬ බවට විරාමයක්‌ තබමින් සතියකට පෙරදී සෞඛ්‍ය ඇමැතිවරයා වෙත ලිපියක්‌ යවමින් ඉල්ලා සිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටින පරිදි හිටපු සභාපතිනි මහාචාර්ය ලලිතා මෙන්ඩිස්‌ වෛද්‍ය සභාවේ සභාපති ධුරයට පත් නොකරන ලෙසත් ඒ වෙනුවට වෙනත් සුදුස්‌සකු පත් කිරීමට පියවර ගන්නා ලෙසයි.

අනතුරුව මහාචාර්ය ෆොන්සේකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයට පත්වූ පසු වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ගෙන් සමන්විත වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ජනමාධ්‍යයන්ට ප්‍රකාශ කර සිටියේ මෙම පත්වීම නීති විරෝධී පත්වීමක්‌ බවත් එයට එරෙහිව විරෝධය පෑම සඳහා වෛද්‍ය පීඨ ශිෂ්‍යයන් පෙළ ගස්‌වන බවයි.

මේ අතර මෙම වෛද්‍ය සංගම් හා වෛද්‍ය ශිෂ්‍යයන්ගේ අදහස්‌වලට හාත්පසින් වෙනස්‌ අදහස්‌ දක්‌වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජංගම රසායනාගාර සේවාව භාරව සිටින නිලධාරී රවී කුමුදේශ් පවසනුයේ මෙතෙක්‌ වෛද්‍ය සභාවේ සභාපති පුටුව හැසිරවූ වෛද්‍ය ක්‌ෂේත්‍රයේ සංගම්වල න්‍යාය පත්‍රයක්‌ වෙනස්‌ කරලීමට මහාචාර්ය ෆොන්සේකා මහතාගේ පත්වීම ඉවහල් වනු ඇති බවයි.

මහාචාර්ය ෆොන්සේකා සෑම විටම මහජනතාවගේ පාර්ශ්වයෙන් තීන්දු - තීරණ ගන්නා අයකු බවත් එවැනි අයකු හරහා හෝ වෛද්‍ය සභාවේ අකාර්යක්‌ෂම කටයුතු යථා තත්ත්වයෙන් පවත්වාගැනීමට හැකිවනු ඇති බව තම විශ්වාසය යෑයි ඔහු සඳහන් කරයි. වෛද්‍ය සභාවේ නව සභාපතිවරයාගේ පත්වීමට ඔහු නියෝජනය කරන වෛද්‍ය සේවාව තුළින්ම විරෝධයක්‌ හට ගෙන ඇත්තේ මෙතෙක්‌ කළාක්‌ මෙන් වෛද්‍ය සභාව තමන්ට අවශ්‍ය පරිදි හැසිරවීමට ඉදිරියේදී ඉඩ නොලැබෙන බැවින් යෑයි වෛද්‍ය රසායනාගාර කාර්මික ශිල්පියකුද (එම්එල්ටී) වන කුමුදේශ් පවසයි.

පසුගිය කාලයේ වෛද්‍ය සභාවේ හැසිරීම කනගාටුදායක තත්ත්වයක පැවැති බවත්, ජාත්‍යන්තර වෛද්‍ය උපාධිවලට විරෝධය පාමින් අනෙක්‌ අතින් ඩිප්ලෝමා කඩ හරහා බිහිවූ ඖෂධවේදීන් ඇතුළු සෞඛ්‍ය වෘත්තීන් ගණනාවකට ලියාපදිංචිය ලබා දීමට වෛද්‍ය සභාව කටයුතු කළ බවටද රවී කුමුදේශ් චෝදනා කරයි.

මහාචාර්ය ෆොන්සේකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයට පත්වීමට විරුද්ධ හා පක්‌ෂ පාර්ශ්වයන්ගේ අදහස්‌ විමසා බැලීමේදී පැහැදිලි වන ප්‍රබල කරුණක්‌ වනුයේ වෛද්‍ය සභාව විසින් පසුගිය කාලය තුළදී මතභේදයට තුඩුදුන් තීන්දු කිහිපයක්‌ ගත් බව හා ගැනීමට උත්සාහ කළ බවයි.

ඒ බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවා පෙන්වා දී ඇති බව නොරහසකි. එහෙත් මහාචාර්ය ෆොන්සේකා විරෝධී පාර්ශවය මෙහිදී දැඩි සේ කැලඹී ඇත්තේ ඔහුගේ පත්වීම හරහා මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට බලධාරීන්ට වාසිදායක අන්දමින් තීන්දු ගැනීමට අවස්‌ථාව ලැබී ඇතැයි යන මතයේ සිට බව පෙනී යයි.

එසේම මහාචාර්ය ෆොන්සේකාගේ පත්වීමට පක්‌ෂපාතී වන පාර්ශ්වයන් නව පත්වීම යහපත් නිමිත්තක්‌ ලෙස දකිනුයේ පසුගිය කාලයේදී ඔවුනගේ වෘත්තීන් සම්බන්ධයෙන් වෛද්‍ය සභාව ගත් මතභේදාත්මක තීන්දු නිසා බව පැහැදිලිය.

මෙහිදී අමතක නොකළ යුතු කරුණක්‌ වනුයේ වෛද්‍ය සභාවේ සභාපති ධුරයට කවුරුන් පත් වුවද එම තැනැත්තා රජයේ හෝ වෙනත් පාර්ශ්වයන්හි අතකොළුවක්‌ නොවිය යුතු බවයි. එමෙන්ම සෞඛ්‍ය ඇමැතිවරයා විසින් පත් කරන තවත් සාමාජිකයන් වෛද්‍ය සභාව තුළ සිටින නිසා වෛද්‍ය සභාවේ නියෝජනයක්‌ නොමැති අයකු එහි සභාපති ධුරයට පත් කිරීම හරහා සිය අරමුණු ඉටු කර ගැනීමට බලධාරීන් කටයුතු නොකළ යුතුය. එවැන්නකින් සිදු වනුයේ මහාචාර්ය ෆොන්සේකාට එල්ල වී ඇති විරෝධය තවත් දැඩි වී වෛද්‍ය ක්‌ෂේත්‍රයම අරාජික තත්ත්වයකට පත්වීමයි.

මෙහිදී අන්‍යවශ්‍ය අයුරින් වර්ජන ක්‍රියාමාර්ගයන් ඇති වුවහොත් එයින් පීඩාවට පත්වනුයේ අසරණ රෝගීන් බව අමතක නොකළ යුතුයි.

දැනටමත් මෙවැනි පත්වීම්වලට විරෝධය පාමින් වෛද්‍ය සභාවෙන් තම ලියාපදිංචිය පවා ඉවත් කර ගැනීමට කටයුතු කරන බවට ඇතැම් වෛද්‍ය වෘත්තීන් අනතුරු අඟවා තිබීම නිසා වෛද්‍ය සභාවේ සභාපති ධුරය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුකාරී තත්ත්වය අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර විස¹ ගැනීමට රජය ක්‍රියා කළ යුතුය. විශේෂයෙන්ම මෙහිදී සෑම සෞඛ්‍ය වෘත්තීය සමිතියකම අදහස්‌ හා යෝජනා ලබා ගෙන වෛද්‍ය සභාව කාටත් පිළිගත හැකි ස්‌වාධීන උත්තරීතර ආයතනයක්‌ ලෙස පවත්වාගෙන යාමට කටයුතු කිරීම බලධාරීන්ගේ යුතුකම හා වගකීම වේ.

ඒමන්ති මාරඹේ
Divaina 2012.01.05

No comments:

Post a Comment