Thursday, January 19, 2012

ආශ්වාදජනක ප්‍රකාශ නොවේ සැමට සාධාරණව රැකියා ලබාදෙන වැඩපිළිවෙළක්‌ ඕනෑ රැකියා විරහිත උපාධිධාරීන්ගෙන් ජනපතිට ලිපියක්‌

මෙරට රැකියා විරහිත උපාධිධාරීන් හතළිස්‌ පන්දහසක්‌ දෙනාට අවශ්‍යව ඇත්තේ ආශ්වාදජනක ප්‍රකාශ නොවන බැවින් දේශපාලන අතපෙවීම් වලින් තොරව සැමට සාධාරණය ඉටුවන වැඩපිළිවෙළක්‌ හරහා වහාම රැකියා ලබාදෙන ලෙස ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරි සංගමය ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා වෙත ලිපියක්‌ යවමින් ඉල්ලා සිටී.

එම නිවේදනය මෙසේය.

මේ වන විට මෙරට රැකියා විරහිත උපාධිධාරීන් 45,000 ක්‌ සිටින බව ඔබතුමා දන්නවා ඇත. ඔබතුමා බලයට පත්වෙමින් 2005 වර්ෂයේ ප්‍රකාශ කර සිටියේ "තවදුරටත් උපාධිධාරීන් මහමඟ රස්‌තියාදු නොකරන බවත්, වාර්ෂිකව සියලු උපාධිධාරීන්ට රැකියා දෙන බවත්, කිසිදා පහර නොදෙන බවත්ය." නමුත් පසුගිය වසර 6 පුරාම බොරු පොරොන්දු දෙමින් ආණ්‌ඩුව සිදු කළේ ද එයමය. ඔබතුමා ලබාදුන් පොරොන්දු අතර, 2005 මහින්ද චින්තනයේ "යොවුන් දිරිය" වැඩසටහන යටතේ පළමු වසරේ උපාධිධාරීන් 10000 කට රැකියා, 2006 අයවැයෙන් ඊට මුදල් පවා වෙන් කරන ලදී. ඉන් පසු 2007 අයවැයෙන් රැකියා 8000 ක්‌, 2008 අයවැයෙන් රැකියා 15000 ක්‌, ඉන්පසු 2009-2010 වසරේ ජනසභා ලේකම් තනතුරු 144000 ක්‌ (සම්මුඛ පරීක්‌ෂණය පවා පවත්වන ලදී.) 2011 වසරේ අගෝස්‌තු 1 වැනිදා සංවර්ධන නිලධාරී තනතුරු 15000 ක්‌ විය.

මෙයින් පැහැදිලි වන්නේ සියලු රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීම සඳහා පුරප්පාඩු ආණ්‌ඩුවේ පවතින බවයි. අප මෙම ගැටලුව පිළිබඳ ඔබතුමාගෙන් සාකච්ඡා අවස්‌ථා විශාල ප්‍රමාණයක්‌ ඉල්ලා තිබුණද අපට එකදු අවස්‌ථාවක්‌වත් මෙතෙක්‌ ලබානොදීමෙන් පැහැදිලි වන්නේ මෙම ගැටලුව පිළිබඳ ඔබතුමලාගේ වන අඩු තක්‌සේරුවයි.

කෙසේ වෙතත් මේසා විශාල පොරොන්දු මල්ලක්‌ උපාධිධාරීන්ට ලබාදුන් ඔබතුමා මේ වන විට උපාධිධාරීන් 15000 කට රැකියා දෙන බවට නිවේදනයක්‌ නිකුත් කර ඇත. වසර 6 ක්‌ පුරා රැකියා ඉල්ලා අරගල කරන උපාධිධාරීන්ට අවශ්‍ය පොරොන්දු හෝ ආශ්වාදජනක ප්‍රකාශ නොව රැකියාවකි.

මෙසේ ලබාදීමට සැරසෙන රැකියා, උපාධිය ලබාගත් වසර අනුව විනිවිද පෙනෙන සුළු ආකාරයට ලබාදෙන ලෙස අප මුල සිටම අවධාරණය කළෙමු. නමුත් මෙම රැකියා "දේශපාලන සංතෝෂම්" ලෙස තම ආණ්‌ඩුවේ ඇමැතිවරුන්, ආණ්‌ඩුකාරවරුන් අතර බෙදාහැරීමේ වැඩපිළිවෙළක්‌ පවතී. ඒ යටතේ ඇමැතිවරයකුගෙන් 75 ක නාම ලේඛනයක්‌, ආණ්‌ඩුකාරවරයකුගෙන් 50 ක නාම ලේඛනයක්‌, පළාත්සභා මන්ත්‍රීවරයකුගෙන් 5 ක වශයෙන් නාම ලේඛනය කැඳවා ඇත.

මෙසේ තම හිතවතුන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙල වෙනස්‌කොට කඩිනමින් උතුර - නැගෙනහිර පළාත් ඇතුළු රටේ සමස්‌ත සිංහල, දෙමළ සහ මුස්‌ලිම් රැකියා විරහිත උපාධිධාරීන්ට වහාම රැකියා ලබාදෙන ලෙසත්, එසේ නොවන්නේනම් දැවැන්ත විරෝධයක්‌ ගොඩනගන බවත් අවධාරණය කරමු. එම අවස්‌ථාවේදී විවිධ අසත්‍ය චෝදනා නගමින් අප ක්‍රියාකාරීන් මර්දනය කිරීමට කටයුතු නොකරන මෙන්ද ඉල්ලා සිටිමු.

Divaina 2012.01.19

No comments:

Post a Comment