Monday, January 30, 2012

කලා, වාණිජ සමතුන් බඳවා ගැනීමේ විරෝධයට විසඳුමක්‌ හෙද හෙදියන්ට උ/නැ සේවය අනිවාර්ය වේ

අජිත් අලහකෝන්

හෙද හෙදියන් වසර කිහිපයක්‌ අනිවාර්යයෙන්ම උතුරු-නැගෙනහිර රෝහල්වල සේවය කළ යුතු බවට නියම කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක්‌ නිකුත් කර ඇත.

එම ප්‍රදේශවල රෝහල් සඳහා කලා සහ වාණිජ විෂයයන් සමත් අය හෙද සේවයට බඳවා ගැනීම පිළිබඳ වෘත්තීය සමිති විරෝධතාව දක්‌වන නිසා මෙම චක්‍රලේඛය නිකුත් කළ බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව කලා සහ වාණිජ විෂය ධාරා සමත් අය හෙද සේවයට බඳවා ගැනීමට ගෙන ඇති තීරණය අත්හිටුවන බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. උතුරු හා නැගෙනහිරින් බැහැරව අවුරුදු පහක්‌ සේවා කාලය නිම කළ හෙද හෙදි සියල්ලන්ම මෙන්ම අලුතින් හෙද සේවයට එක්‌වන සියලු දෙනා මින් ඉදිරියට වසර කිහිපයක්‌ උතුරේ හා නැගෙනහිර රෝහල්වල සේවය කිරීම මේ අනුව අනිවාර්ය වේ.

හෙද පුහුණුව සඳහා පසුගියදා දෙදහස්‌ පන්සිය දෙනකුට ජනාධිපතිවරයා විසින් පත්වීම් ලබාදුන් බවද ඒ අතර උතුරු නැගෙනහිර රෝහල් සඳහා කලා, වාණිජ විෂයයන් සමත් හයසියයක්‌ සිටින බවද කී ඇමැතිවරයා විද්‍යා විෂය සමත් අය උතුරු නැගෙනහිරින් සොයා ගැනීම අසීරු වූ බවද කීය.

කලා, වාණිජ විෂයයන් සමත් වූවන්ට හෙද පත්වීම් ලබාදීම කෙරෙහි විරෝධය දක්‌වමින් වෘත්තීය සමිති උද්ඝෝෂණය කළ බවද එම නිසා මින් ඉදිරියට එම විෂයයන් සමත් වූවන් හෙද සේවයට බඳවා ගැනීම අත්හිටුවන බවද ඇමැතිවරයා කීය.

මේ අනුව උතුරු-නැගෙනහිර පළාත්වල හෙද හෙදියන්ගේ ඌනතා ඇතිවන බැවින් වසර පහක්‌ දකුණේ රෝහල්වල සේවය කළ හා අලුතින් බඳවා ගන්නා හෙද හෙදියන් සියලු දෙනාට උතුරේ හා නැගෙනහිර රෝහල්වල සේවය කිරීම අනිවාර්ය කළ බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

divaina 2012.01.31

No comments:

Post a Comment