Thursday, January 19, 2012

ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්‌ෂ මණ්‌ඩලය විසුරුවා හැරියේ කළමනාකරණයේ දුර්වලතා නිසයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන

කෝට්‌ටේ ශ්‍රී ජයවර්ධනපුර ශික්‌ෂණ රෝහලේ කලින් පැවැති අධ්‍යක්‌ෂක මණ්‌ඩලය හා සභාපතිවරයා දූෂණවලට සම්බන්ධ වූවන් නොවන බවත් එම අධ්‍යක්‌ෂ මණ්‌ඩලය විසුරුවා හරින ලද්දේ රෝහල් කළමනාකාරණයේ පැවැති දුර්වලතා හා පසුබෑම් හේතුවෙන් බවත් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

මෙම තත්ත්වය මත තමා ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්‌ෂ මණ්‌ඩලය වෙනස්‌ කර නව සභාපතිවරයකු, අධ්‍යක්‌ෂවරයකු හා නියෝජ්‍ය අධ්‍යක්‌ෂවරයකු පත් කළ බවත් ඇමැතිවරයා කීවේය. පැවැති ජයවර්ධනපුර රෝහල් අධ්‍යක්‌ෂ මණ්‌ඩලයේ කළමනාකරණ කටයුතු පිළිබඳ ගැටලු පැවැතියද එම මණ්‌ඩලය හෝ එහි අධ්‍යක්‌ෂවරුන් දූෂිත අය නොවන බවද ඇමැතිවරයා අවධාරණය කළේය.

ඉකුත්දා කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සෞඛ්‍ය ඇමැතිවරයා මෙම කරුණු අනාවරණය කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ සෞඛ්‍ය ඇමැතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන නිමල් බණ්‌ඩාර මහතාව ජයවර්ධනපුර අධ්‍යක්‌ෂ මණ්‌ඩලයේ නව සභාපතිවරයා වශයෙන් පත් කරන ලද්දේ ඔහුගේ දැනුම හා අත්දැකීම් ඔස්‌සේ යථා තත්ත්වයට පත් කිරීමට බවත් ඔහු හා නව අධ්‍යක්‌ෂ මණ්‌ඩලය ඒ සඳහා වන නව සැලසුමට අනුව ක්‍රියාත්මක වෙමින් සිටින බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

රෝහලේ විස¹ ගත යුතු ප්‍රශ්න රාශියක්‌ තිබෙනවා. ඇඳන් 1001 ක පහසුකම් සහිත ජයවර්ධනපුර රෝහලේ ලෙඩුන් පිරී පවතිනුයේ ඇඳන් 600 ක පමණයි. ඒ අනුව ඇඳන් 401 ක්‌ තවමත් හිස්‌ව පවතිනවා. බොහෝ පෞද්ගලික රෝහල්වල ඇඳක්‌ හෝ කාමරයක්‌ වෙන් කර ගැනීමට පවා අපහසු වී තිබෙන්නේ ඒවාට ඇති අධික ඉල්ලුම නිසයි. මේ නිසා ජයවර්ධනපුර රෝහල සංවර්ධනය කිරීම සඳහා අප වෙනස්‌ තීරණ ගනිමින් සිටිනවා යෑයිද ඇමැතිවරයා කීවේය.

අනෙකුත් රජයේ රෝහල්වල මෙන් වරප්‍රසාද හා පහසුකම් නොලැබීම නිසා වෛද්‍යවරුන් හා හෙදියන් ජයවර්ධනපුර රෝහලේ සේවය කිරීමට අකැමැත්තක්‌ දක්‌වන බවත් රෝහලේ වෛද්‍යවරුන්ගේ හිඟයක්‌ පවතින බවත් ඇමැතිවරයා කීවේය.

Divaina 2012.01.19

No comments:

Post a Comment