Wednesday, January 25, 2012

හෙද සේවය රැකියාවකට වඩා ගෞරවාන්විත සේවාවක් - ජනපති

හෙද සේවය රැකියාවකට, වෘත්තියකට වඩා ගෞරවාන්විත සමාජ සේවාවක් බවත් අසනීපයෙන් පෙළෙන්නෙකුට නිරෝගී වීමට ශක්තියක් සපයන හෙද නිලධාරිනියකගේ නිලධාරියෙකුගේ සිනහව බොහෝ ගැටලු විසඳන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.

ජනාධිපතිතුමා මෙසේ පැවසුවේ සිසු හෙදි පුහුණුවට තරුණ තරුණියන් 2500ක් බඳවා ගැනීම නිමිත්තෙන් ඊයේ (22) අරලිය ගහ මන්දිරයේ පැවති උත්සව සභාව අමතමිනි.

හෙද සේවය සඳහා ලෝකයේ ඉල්ලුමක් තිබෙන අතර ලංකාව අද රටක් වශයෙන් ඉදිරියට යන ගමන තුළ ලංකාවේ හෙද නිලධාරීන් හා නිලධාරිනියන් සඳහා ද එම ඉල්ලුම ම පවතින බව ජනාධිපතිතුමා පැවසීය.

දැනුමෙන්, විද්‍යාවෙන් ඉදිරියට ගිය ද තම මාතෘ භූමියට තිබෙන ආදරය හා මව්බිම පිළිබඳ හැඟීම අමතක නො කළ යුතු බව ද ජනාධිපතිතුමා එහි දී අවධාරණය කළේය.

'අද 2500ක් තරුණ තරුණියන් හෙද විද්‍යාලවලට ඇතුළත් කරගන්නා අවස්ථාවක්. කොටින් ම කියනවා නම් රජයේ සේවාවට බඳවා ගන්නා අවස්ථාවක්. මොකද විශ්වවිද්‍යාලයට ඇතුළු කරගන්නවා වගේ නොවෙයි, කෙලින් ම රජයේ සේවයටයි ඔබ ඇතුළු කෙරෙන්නේ. මේ වසරේ පළමුවෙන් ම රජයේ සේවයට බඳවා ගන්නා කණ්ඩායම ඔබයි. එසේ රජයේ සේවයට බඳවා ගැනෙන මේ විශාල කණ්ඩායමට මම සුබ පතනවා'.

සමහර පත්වීම්ලාභීන් උතුර නැඟෙනහිර හෝ හම්බන්තොට ප‍්‍රදේශවලට සේවය සඳහා යාමට අකැමැති බවත් පහසුකම් තිබෙන නිසා කොළඹට එන්න කැමති බවත් සඳහන් කළ ජනාධිපතිතුමා එහෙත් තවත් නොබෝ දවසකින් ලංකාවේ උතුර ද නැඟෙනහිර ද දකුණ ද කියලා භේදයක් නැති ව සේවය සඳහා පිරිස් යනු ඇතැයි ද පැවසීය.

රටක් වශයෙන් ඉදිරියට යාමේ දී ශ්‍රී ලංකාවට හොඳ ඉල්ලුමක් ඇතැයි ද එම ඉල්ලුමට සරිලන්න වැඩ කිරීම අවශ්‍ය යැයි පෙන්වා දුන් ජනාධිපතිවරයා හෙදියන්ගේ අවශ්‍යතාව ඉදිරියේ දී වැඩිවෙනු ඇතැයි ද පෙන්වා දුන්නේය.

රාජ්‍ය හෙද සේවා සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරු, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අජිත් මෙන්ඩිස්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශී‍්‍ර ලංකා නියෝජිත එෆ්.ආර්. මේතා, ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ නියෝජිත බොබ් මැක්රො, හෙද පුහුණුව ආරම්භ කරන තරුණ තරුණියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.





sinhala.news.lk

No comments:

Post a Comment