Friday, January 6, 2012

දෙවැනි වසර 7 දෙනකුගේ පන්ති තහනමට එරෙහිව රජරට වෛද්ය පීඨ නවක සිසු විරෝධතා

නවක සිසුන්ගේ මැදිහත්වීම පිළිගත නොහැකියි
-
උපකුලපති කියයි
නිලන්ත මදුරාවල, පර්සි කුරුනේරු
නවකවදය දීමේ චෝදනා මත පන්ති තහනමකට ලක්‌කර ඇති රජරට විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨ දෙවැනි වසර සිසුන් හත්දෙනාගේ එම දඬුවම ඉවත් කරන ලෙස ඉල්ලමින් එහි පළමු වසරේ සියලුම සිසු සිසුවියෝ ඊයේ (06 වැනිදා) සිට පීඨ පරිශ්‍රයේ විරෝධතාවයේ යෙදී සිටිති.
පන්ති තහනමට ලක්‌කර සිටින්නන් අතර සිසුවියක ද වෙයි. තමන් කිසිදු ආකාරයකින් නවකවදයට ලක්‌ නොවූ බව පළමු වසරේ සියලුම සිසු සිසුවියන් සිය අත්සන් ද සහිතව වෛද්‍ය පීඨාධිපතිනි මාලනී උඩුපිහිල්ල මහත්මියට ලිතව දන්වා ඇත.
පන්ති තහනම ඉවත් කරන ලෙස ඉල්ලමින් දෙවැනි වසර සිසුන් පසුගිය 4 වැනිදා ආරම්භ කළ පන්ති වර්ජනයට එදින සිට නවක සිසු සිසුවියෝ ද එක්‌වූහ. උපකුලපති මහාචාර්ය කේ. ඒ. නන්දසේන මහතාගේ දැනුම් දීම ද නොතකා නවකයන් පන්ති වර්ජනයේ සිටි හෙයින් ඔවුන් විශ්වවිද්‍යාලයෙන් ඉවත් කිරීමට පරිපාලන අංශ තීරණය කළේය. ඒ අනුව පෙරේදා (05 වැනිදා) සවස 3 වන විට වෛද්‍ය පීඨ පරිශ්‍රයෙන් ඉවත් වන ලෙස දැනුම් දී තිබිණි. දුරබැහැර සිසුවියන් ද සිටින හෙයින් ඊයේ (06 වැනිදා) උදේ හයවන තෙක්‌ සිසුහු කල් ඉල්ලා සිටියහ. එම ඉල්ලීමට උපකුලපතිවරයා එකඟතාව පළකර අතර මේ වන විට විරෝධතාවයේ යෙදී සිsටින්නේ එලෙස ඉවත් වීමට සූදානම් වූ සිසු සිසුවියන්ය. රාත්‍රියේ සිටම පීඨ පරිශ්‍රයේ රැඳී සිට ඊයේ (6 දා) නිවෙස්‌ බලා යැමට පෙර ආපනශාලාවට යමින් සිටි සිසුන්ට ඒ සඳහා ද ආරක්‍ෂක අංශ ඉඩ නොදුන් බවත් ජ්‍යෙෂ්ඨ සිසුන් පැමිණ තමන් ආපනශාලාවට ගෙනගොස්‌ අවශ්‍ය පහසුකම් සැලසූ බවත් සිසුවෙක්‌ පැවසීය. මෙම තත්ත්වය යටතේ නිවෙස්‌වලට නොගොස්‌ විරෝධතාවයේ යෙදීමට තීරණය කළ බව ද එම සිසුවා සඳහන් කළේය.
නවක සිසුන්ගේ නේවාසිකාගාර ද පරිපාලන අංශ මගින් වසා දමා ඇති අතර ඊයේ (6 දා) පෙරවරු 11 ට පෙර විශ්වවිද්‍යාලයෙන් ඉවත් වන ලෙස උපකුලපතිවරයා සිසුන්ට දන්වා තිබුණද විසඳුමක්‌ ලැබෙන තෙක්‌ ඉවත් නොවන බව සිසුහු පැවසූහ.
මේ අතර ජ්‍යෙෂ්ඨ සිසුහු ද පීඨාධිපතිනියගේ කාර්යාලය වටකරගනිමින් පන්ති තහනමට විරෝධතාව පළකරමින් සිටියහ.
නවකවදය දුන් බවට හඳුනාගත් දෙවැනි වසර සිසුන් හයදෙනාගේ සහ සිසුවියගේ පන්ති තහනමට අදාළව පරීක්‍ෂණ මණ්‌ඩලයක්‌ මගින් පරීක්‍ෂණයක්‌ පවත්වමින් සිටින බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් උපකුලපති මහාචාර්ය කේ. ඒ. නන්දසේන මහතා සඳහන් කළේය. එම සිද්ධියට විරෝධය පළකිරීම සඳහා නවක සිසුන් එක්‌වීම කිසිසේත් පිළිගත නොහැකි යෑයි ද පන්ති වර්ජනය කර මහපොළ අහිමි කර නොගන්නැයි නේවාසිකාගාරයට ගොස්‌ සිසුන්ගෙන් ඉල්ලා සිටි බව ද ඒ මහතා කීවේය. එහෙත් ඊට අවනත නොවූ සිසුන් පන්ති වර්ජනය කළ බවත් පළමු වසර සිසුන් පීඨයෙන් ඉවත් කිරීමට තීරණය කළේ ඉන්පසුව බවත් පැවසූ මහාචාර්යවරයා පීඨයෙන් ඉවත් වීමට සූදානමින් සිටි සිසුන් ජ්‍යෙෂ්ඨ සිසුන් යළි ආපනශාලාවට කැඳවා විරෝධතාව සඳහා ඔවුන් මෙහෙයවන බව ද සඳහන් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සියලුම දෙමවුපියන්ට දන්වන බව ද උපකුලපතිවරයා ප්‍රකාශ කළේය.
divaina 2011.01.07

No comments:

Post a Comment