Thursday, January 19, 2012

සෞඛ්‍ය අමාත්‍යාංශයේ විනය කොයිබටද?

 
________________________________________
සෞඛ්‍ය අමාත්‍යාංශයේ විනය කොයිබටද?

සෞඛ්‍ය අමාත්‍යාංශය තුළදී මෙම දිනවල පුදුම සහගත සිදුවීම් සිදුවෙමින් පවතී. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරිවරයා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ජනරාල් වෛද්‍ය අජිත් මෙන්ඩිස්‌ මහතාට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කරන කනිෂ්ඨ වෛද්‍යවරයකු විසින් තර්ජනාත්මකව බැණවැදීම අලුතින්ම සිදුව ඇති එවන් සිදුවීමයි. මෙම තර්ජනාත්මක බැණවැදීම සිදු කර ඇති කනිෂ්ඨ වෛද්‍යවරයා සෞඛ්‍ය ඇමැතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්‌ඩලයට අයත් අයකු වන බවත් රජයේ රෝහල්වලට ශල්‍ය අත්වැසුම් සැපයීමේ ටෙන්ඩරය සම්බන්ධයෙන් හට ගත් මත ගැටුමක්‌ මත මෙම බැණවැදීම සිදු කර ඇති බවත් වාර්තා වී තිබේ.

අප දන්නා පරිදි කලකට පෙර දී නම් අමාත්‍යාංශයක හෝ ආයතනයක ඉහළම නිලධාරියකුට කනිෂ්ඨ නිලධාරියකු මෙවැනි බැණ වැදීමක්‌ සිදු කළේ නම් ඒ පිළිබඳව විනය පරීක්‍ෂණයක්‌ සිදු කර එසේ බැණවැදුණු නිලධාරියාට එරෙහිව විනය පියවර ගැනීම අනිවාර්යයෙන්ම සිදු විය.

එහෙත් වර්තමානයේදී එවැන්නක්‌ සිදු නොවන බව පෙනී යනුයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට බැණවැදුණු වෛද්‍යවරයා කිසිදු කරදරයකින් තොරව තවදුරටත් සේවයේ යෙදී සිටිනු දැකීම නිසාය. විනය පියවරකට මුහුණ දෙනු වෙනුවට අදාළ කනිටු වෛද්‍යවරයා ඇමැතිවරයාගේ උපදෙස්‌ මත සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ජනරාල්වරයාගෙන් සමාව ඉල්ලීමෙන් පමණක්‌ සිද්ධිය යටපත් කර ඇති බව වාර්තා වේ.

මෙවැනි සිද්ධියකට වෙනත් සෞඛ්‍ය වෘත්තියකට අයත් සේවකයකු සම්බන්ධ වූයේ නම් මේ වන විට ඔහුගේ සේවය තහනම් කර තිබෙනවාට කිසිදු සැකයක්‌ නොමැත. වරප්‍රසාද ලත් හා නොලත් වෘත්තීන් අතර පවතින වෙනසද මෙයයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අජිත් මෙන්ඩිස්‌ මහතා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය තුළ වසර තිහක හෝ එයට මදක්‌ වැඩි කාලයක්‌ සේවා පළපුරුද්දක්‌ ඇති වෛද්‍යවරයෙකි. ඔහු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතනවල ප්‍රධාන තනතුරු හොබවමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් තනතුර දක්‌වා පියවරෙන් පියවර පැමිණි අයෙකු බව අමුතුවෙන් නොකිවමනාය. එවැනි පළපුරුදු ඉහළ නිලධාරියකුගේ රාජකාරි කටයුතුවලට ඇඟිලි ගසමින් ඔහුට තර්ජනාත්මක බැණ වැදීමට වසර එකහමාරක්‌ වැනි පළපුරුද්දක්‌ ඇති කනිටු වෛද්‍යවරයකුට ඇති අයිතිය කුමක්‌දැයි යන්න බොහෝ දෙනා තුළ මෙහිදී පැනනඟින ගැටලුවකි.

එහෙත් මෙවැනි පුදුම සහගත ක්‍රියාවන් සිදුවනුයේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ වීම නිසා මහජනතාව ඇතැම් විට එවැනි ක්‍රියාවන් පිළිබඳව පුදුම නොවුව ද ඒ පිළිබඳව අප උරණ විය යුතු නැත. මන්ද සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ හා එයට අනුබද්ධ ආයතනවල රුපියල් කෝටි ගණන් වටිනා ටෙන්ඩර් ගනුදෙනුවලින් වංචාවක්‌ සිදු කළ නිලධාරීන්ට එරෙහිව පසුගිය කාලයේදී නීතිය ක්‍රියාත්මක නොකළ අමාත්‍යාංශයකින් මෙවැනි සිදුවීමකදී ද සාධාරණත්වයක්‌ පැතිය නොහැකි වීමයි.

සැබවින්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ජනරාල්වරයාට එරෙහිව තර්ජණාත්මකව බැණවැදීමට තරම් කනිටු වෛද්‍යවරයකු මෙහෙය වූ ප්‍රබල කරුණ කුමක්‌ද? එයට පිළිතුර නම් රජයේ රෝහල්වලට ශල්‍ය අත්වැසුම් (සර්ජිකල් ග්ලවුස්‌) සැපයීමේ ටෙන්ඩරය තම හිතවත් සමාගමකට පිරිනැමීමට එම කනිටු වෛද්‍යවරයා කළ ඉල්ලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා ඇහුම් කන් නොදීමයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය මෙන්ඩිස්‌ මහතාගේ විෂය පථයට අයත් කරුණක්‌ සම්බන්ධයෙන් එම විෂයයට කිසිසේත් අදාළ නොවන වෛද්‍යවරයකු විසින් බලපෑම් කිරීම කිසිසේත් සිදු නොවිය යුතු ක්‍රියාවකි. එහෙත් එවැන්නක්‌ සිදු කිරීමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇති වී ඇති කැළල සුළු පටු එකක්‌ නොවේ. මෙම සිද්ධියම දඩමීමා කර ගනිමින් සෙසු රජයේ ආයතනවල කනිටු නිලධාරීන්ද ඉහළ බලධාරීන්ගේ අනුදැනුම මත යෑයි පවසමින් තම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට එරෙහිව තර්ජනය කිරීමට පෙළැඹුණහොත් ඇතිවන තත්ත්වය කෙබඳු විය හැකිද?

අප දන්නා පරිදි රජයේ රෝහල්වලට ශල්‍ය අත්වැසුම් සැපයීමේ ටෙන්ඩරය සම්බන්ධව ගැටලු පැනනැඟි ප්‍රථම අවස්‌ථාව මෙය නොවේ. වසර කිහිපයකට පෙරද රජයේ රෝහල් ශල්‍ය වෛද්‍යවරුන් විසින් තත්ත්වයෙන් බාල නිසා ප්‍රතික්‍ෂේප කළ ශල්‍ය අත්වැසුම් තොගයක්‌ මෙරටට ගෙන්වා රජයේ රෝහල් වෙත බෙදා හැරීමට බලධාරීන් කටයුතු කර තිබිණි. මෙවර සිදුව ඇත්තේ ද එයට නොදෙවැනි වූවකි.

වසර 12 ක පමණ කාලයක්‌ තිස්‌සේ රජයේ රෝහල්වලට හොඳ ප්‍රමිතියෙන් යුතු ශල්‍ය අත්වැසුම් සැපයූ මැලේසියානු සමාගමට ටෙන්ඩරය පිරිනොනමමින් තම හිතවත් සමාගමකට එම ටෙන්ඩරය පිරිනමන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට ඉහත කී කනිටු වෛද්‍යවරයා බලපෑම් කළ විට එයට සවන් නොදීම මත එම වෛද්‍යවරයා සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ කාමරයෙන් පිටතට පැමිණ මෙසේ තර්ජනාත්මක ප්‍රකාශමයන් සිදු කර ඇතැයි වාර්තා වේ. මෙහිදී මැරයන් භාවිත කරන ආකාරයේ වදන් ද එම වෛද්‍යවරයාගේ මුවින් පිටව ඇති අතර රජයේ ඉහළ පෙළේ ඇමැතිවරයකු සමග තමාගේ ඥති සබඳතාවක්‌ ඇති බවට ද මෙම වෛද්‍යවරයා වහසි බස්‌ දොඩවා තිබෙන බව වාර්තා වී තිබේ.

වෛද්‍යවරයකුට තරම් නොවන මෙම තර්ජනාත්මක ප්‍රකාශයන් ඔහු සෘජුවම එල්ල කර ඇත්තේ තම ටෙන්ඩර් ඉල්ලීම පිළිනොගත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ජනරාල්වරයාටය.

මෙම සිදුවීම වන අවස්‌ථාවේ ද අදාළ වෛද්‍යවරයා ශල්‍ය අත්වැසුම් ටෙන්ඩරය පිරිනමන ලෙස ඉල්ලා සිටි සමාගම විසින් සපයනු ලබන ශල්‍ය අත්වැසුම් නිසි ප්‍රමිතියක නොපවතින බව පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබී ඇත. එවැනි තත්ත්වයක්‌ මත දිගු කලක්‌ තිස්‌සේ රජයේ රෝaහල්වලට ශල්‍ය අත්වැසුම් සැපයූ මැලේසියානුq සමාගම මෙරටට සැපැයීමට නියමිතව තිබූ ශල්‍ය අත්වැසුම් තොගය රජයේ රෝහල්වලට මුදා හැරීම වළක්‌වමින් තම හිතවත් මැලේසියානු සමාගමට එම අත්වැසුම් සැපයීමේ ටෙන්ඩරය පිsරිනැමීමට අදාළ වෛද්‍යවරයා පිඹුරුපත් සකසා තිබිණි.

එහෙත් තම හිතවත් මැලේසියානු සමාගමට ටෙන්ඩරය පිරිනැමීමේ ප්‍රයත්නය අසාර්ථක වූ පසු එම සමාගමේ දේශීය නියෝජිතයන් හරහා අධික මිලකට ප්‍රාදේශීය මිලදී ගැනීම් (ලෝකල් පචස්‌) යටතේ අත්වැසුම් මිලදී ගෙන රෝහල්වලට සැපයීමට වෛද්‍යවරයා කටයුතු කර තිබිණි. මෙහිදී එම අත්වැසුම් යුගලයක්‌ මිලදී ගනුයේ රුපියල් 45 ක්‌ බැගින් වූ ඉහළ මිලකට බව වාර්තා වේ. මුලදී රජයේ රෝහල් සඳහා ගෙන්වූ ශල්‍ය අත්වැසුම් යුගලයක්‌ සපයා ඇත්තේ රුපියල් 20 ක්‌ වැනි අඩු මුදලකටය.

ප්‍රාදේශීය මිලදී ගැනීම් යටතේ ශල්‍ය අත්වැසුම් සඳහා දැනට වැය කරන මුදල එම අත්වැසුම් මෙරටට ආනයනය කිරීමේදී වැය කළ මුදල මෙන් දෙගුණයකටත් අධික බව මෙහිදී පෙනී යයි. අඩු මුදලකට මිල දී ගැනීමේ හැකියාව තිබියදී මේ සා විශාල මුදලක්‌ ශල්‍ය අත්වැසුම් සඳහා වියදම් කිරීම තුන්වැනි ලෝකයේ දියුණු වන රටක්‌ වන ශ්‍රී ලංකාවට ඔරොත්තු නොදෙන බව බලධරයන්ට අවබෝධ නොවීම ජාතියේ අවාසනාවකි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කරන ඉහත කී වෛද්‍යවරයාගේ මෙහෙයවීමෙන් මෙසේ අධික මිලකට ශල්‍ය අත්වැසුම් මිලදී ගැනීමට පියවර ගෙන තිබියදී බොහෝ රජයේ රෝහල් ශල්‍ය අත්වැසුම් හිඟයකට මුහුණ පා සිටින බවද වාර්තා විය. බොහෝ රෝහල් හරහා සැත්කම්වලට පෙනී සිටින රෝගීන්ට පිටතින් ශල්‍ය අත්වැසුම් මිලදී ගෙන එන ලෙස පවසන බවද වාර්තා විය.

මෙම ශල්‍ය අත්වැසුම් ටෙන්ඩරය සම්බන්ධව මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ දිගු කලක්‌ රජයේ රෝහල්වලට ශල්‍ය අත්වැසුම් සැපයූ මැලේසියානු සමාගම නියමිත කලට මෙම වසර සඳහා වන එම අත්වැසුම් තොග මෙරටට නොසැපයීම මත ප්‍රාදේශීය මිලදී ගැනීම් යටතේ ශල්‍ය අත්වැසුම් වැඩි මිලකට රජයේ රෝහල්වලට මිලදී ගැනීමට සිදුවූ බවකි.

එහෙත් මෙරටට බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමේදී අනුගමනය කරන ටෙන්ඩර් පටිපාටියෙහි අඩුපාඩු පවතින බව ඇමැතිවරයා පිළිගත්තේය. එසේම කටුනායක ආයෝජන කලාපය තුළ පවතින කම්හල්වල ශල්‍ය අත්වැසුම් නිෂ්පාදනය කර අපනයනය කරන බැවින් දේශීය අවශ්‍යතාව සපුරාලීම සඳහා ශල්‍ය අත්වැසුම් මෙරටදීම නිපදවීමෙන් ඒවා ගෙන්වීම සඳහා විදේශයන්ට ඇදී යන විදේශ විනිමය මෙරටම රඳවා ගත හැකි බවටද ඇමැතිවරයා මෙහිදී යෝජනාවක්‌ ද කළේය.

විදේශීය රටවලින් මෙරටට ගෙන්වනු ලබන බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය මෙරටදීම නිපදවීමට කළ ප්‍රථම යෝජනාව මෙය නොවේ. මෙයට ප්‍රථම ද පැරසිටමෝල් වැනි බෙහෙත් වර්ග මෙන්ම ගෝස්‌ වැනි ශල්‍ය ද්‍රව්‍ය පවා දේශීයව නිපදවා ඒවා මෙරටට ආනයනය කිරීමට වැය වන මුදල මෙරටම රඳවා ගැනීම පිළිබඳව වරින්වර ප්‍රකාශ කරන ලද්දේ ද සෞඛ්‍ය බලධාරීන් විසිනි. එහෙත් අදටත් ඒවා සියයට සියයක්‌ සාර්ථකව සිදු කිරීමට බලධාරීන් අපොහොසත් වී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට සෞඛ්‍ය අමාත්‍යාංශයේම කනිටු වෛද්‍යවරයකු විසින් බැණවැදීමේ සිද්ධිය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බොහෝ පරිපාලන නිලධාරීන් දැක්‌වූයේ දැඩි නිහඬතාවකි. එය අදටත් එසේමය. මෙවැනි සිදුවීමක්‌ සිදුව ඇති බව ජනමාධ්‍යයන් ඔස්‌සේ ප්‍රචාරය වී සතියක්‌ ගත වූ පසු එනම් පසුගිය සතියේ දූෂණ විරෝධී සෞඛ්‍ය නිලධාරීන් පිරිසක්‌ පිහිටුවාගත් සංවිධානයක්‌ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයකදී රැස්‌වී තීරණය කරන ලද්දේ සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරයාට කනිටු වෛද්‍යවරයා විසින් බැණවැදීමේ සිද්ධිය සම්බන්ධව එම වෛද්‍යවරයාට එරෙහිව පියවර නොගන්නේ නම් ඒ පිළිබඳ ජනාධිපතිවරයාට පැමිණිලි කිරීමටයි.

එහෙත් එම පුවත් පුවත්පතක පළව තිබෙනු දුටු බොහෝ අවස්‌ථාවලදී ජනමාධ්‍යයන්ට නොයෙකුත් සාවද්‍ය පුවත් සපයන සෞඛ්‍ය අමාත්‍යාංශයේ එක්‌තරා නිලධාරියකු එම පුවත ප්‍රතික්‍ෂේප කරමින් පවසා සිටියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට කිසිදු වෛද්‍යවරයකු බැණවැදී නොමැති අතර ශල්‍ය අත්වැසුම් හිඟයක්‌ මෙම දිනවල රෝහල්වල නොපවතින බවයි. එමෙන්ම දූෂණ විරෝධී සෞඛ්‍ය නිලධාරීන්ගේ සංගමය නමින් වෘත්තීය සමිතියක්‌ අමාත්‍යාංශය තුළ ලියාපදිංචි වී නොමැති අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙම පුවත ගැන සිත් තැවුලට පත්ව ඇති බවත් මෙකී නිලධාරියා ප්‍රකාශ කර සිටියේය.

ප්‍රථමයෙන්ම මෙකී නිලධාරියාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් කිවයුත්තේ ඔහු සත්‍ය සිදුවීමක්‌ ව්‍යාජ සිදුවීමක්‌ බව ජනතාවට ඒත්තු ගැන්වීමට අසාර්ථක උත්සාහයක යෙදී ඇති බවයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට බැණ වැදීමේ සිද්ධිය පිළිබඳව පුවත් කිහිපයක්‌ම ඒ වන විටද ජනමාධ්‍යයන්හි පළ වී තිබූ අතර ඔහු එවැනි සිදුවීමක්‌ සිදු නොවූ බව පවසන විට එම සිදුවීම පිළිබඳ තොරතුරු මහජනතාව වෙත ගොස්‌ අවසන් බව මෙම නිලධාරියා දැන නොසිටීම අභාග්‍යයකි.

ඔහු පවසන අන්දමට දූෂණ විරෝධී සෞඛ්‍ය නිලධාරින්ගේ සංගමය නමින් වෘත්තීය සමිතියක්‌ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි වී නොමැත. එය සැබෑවකි. මන්ද එම සංගමය කිසිසේත් වෘත්තීය සමිතියක්‌ නොවීම නිසා ය. තම නිල කාමරයට වී දොරගුළු ලා ගෙන සිටීම නිසා දොa මෙම නිලධාරියා බාහිර ලෝකයේ සිදුවන දෑ නොදැන සිටියද අදාළ සංගමයේ නිලධාරීන් පසුගිය සතියේදී සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතනයකදී රැස්‌ වූ බව අමාත්‍යාංශ නිලධාරීන් දැන සිටිති.

අවාසනාවකට මෙන් මෙකී නිලධාරියා කා වෙනුවෙන් කඩේ යන්නේදැයි කිව නොහැකි වුවද සෑම විටම අසත්‍යය හා අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින බව නම් පෙනී යයි. ඔහු මාධ්‍යයන්ට ඉහත කී අසත්‍ය තොරතුරු සඳහන් කර එවූ නිවේදනය දුටු වේ නම් සත්‍ය සිදුවීමක්‌ අසත්‍ය කිරීමට කටයුතු කිරීම පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ ජනරාල්වරයා නම් සිත් තැවුලට පත් වනු නොඅනුමානය.

අවසන් වශයෙන් කිව යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ මෙවැනි වැරැදි වැඩ සිදු කරන නිලධාරින් දිගින් දිගටම ආරක්‌ෂා කරමින් සිටින තෙක්‌ අමාත්‍යාංශයේ විනය හා කාර්යක්‌ෂමතාව දිනෙන් දින පිරිහීම වැළැක්‌විය නොහැකි වන බවයි.

ඒමන්ති මාරඹේ
Divaina 2012.01.19

No comments:

Post a Comment