Thursday, January 19, 2012

උපාධිධාරී සේවා ව්‍යවස්‌ථාව කැබිනට්‌ මණ්‌ඩලය හමුවට

අකිත පෙරේරා

උපාධිධාරීන් ක්‍රමවත් ලෙස රාජ්‍ය සේවයේ නිරත කරවනු පිණිස "උපාධිධාරීන් සේවා ව්‍යවස්‌ථාව" කැබිනට්‌ අනුමැතිය සඳහා යොමුකර ඇතැයි ශ්‍රී ලංකා නිදහස්‌ උපාධිධාරී සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (18 වෙනිදා) පැවැසීය. මෙතෙක්‌ උපාධිධාරීන් සඳහා සේවා ව්‍යවස්‌ථාවක්‌ නොමැතිවීම හේතුවෙන් ඔවුන්ට සේවයේදී දුෂ්කරතා රාශියක්‌ ඇතිවූ බවද, එබැවින් ඊයේ (18 දා) දින කැබිනට්‌ මණඩල අනුමැතියට යොමු කරවීමට ලැබීම සමස්‌ත උපාධිධාරීන් ලැබූ ජයග්‍රහණයක්‌ බවද හෙතෙම කීය.

අදාළ සේවා ව්‍යවස්‌ථාව මගින් උපාධිධාරීන්ට තිබූ සේවා උසස්‌වීම්, ස්‌ථාන මාරු, වැටුප්, රාජකාරීමය ඇතුළු ගැටලු රැසකට ස්‌ථිර විසඳුම් ලැබෙනු ඇති බවද ඒ මහතා සඳහන් කළේය. එසේම ලබන පෙබරවාරි මාසය අවසන් වීමට ප්‍රථමයෙන් තවත් උපාධිධාරීන් 15,000 ක්‌ 20,000 ත් අතර ප්‍රමාණයක්‌ වඩා ක්‍රමවත්ව රාජ්‍ය සේවයට එක්‌කර ගැනීමට රජය සැලසුම් කර ඇතැයිද රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.

කොළඹ විදුලි සංදේශ අමාත්‍යාංශයේදී පැවැති මෙම මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නිදහස්‌ උපාධිධාරි සංගමයේ නිලධාරීහු කිහිපදෙනෙක්‌ද අදහස්‌ දැක්‌වූහ.

Divaina 2012.01.19

No comments:

Post a Comment