Thursday, January 12, 2012

ඖෂධ නාම ලේඛනය සංශෝධන කෙරේ

වෛද්‍ය සැපයීම් අංශයේ ඖෂධ නාම ලේඛනය සංශෝධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ඒ අනුව මෙතෙක් කල් ගෙන්වූ අනවශ්‍ය ඖෂධ වර්ග 150 ක් පමණ දැනට ඉවත් කිරීමට හැකි වී තිබෙන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

හෘද රෝග සඳහා අවශ්‍ය යැයි සටහන්ව තිබූ 1019 ක්ව පැවැති අයිතම වර්ග 630 දක්වාත්, දන්ත ශල්‍ය සේවාව සඳහා අවශ්‍ය යැයි ඖෂධ වට්ටෝරුවේ සඳහන් වූ 4000 ක්ව පැවැති අයිතම වර්ග 2000 දක්වාත්, ශල්‍ය වෛද්‍ය සේවාව සඳහා අවශ්‍ය බවට සටහන්ව තිබූ 780 ක් පමණ වූ අයිතම වර්ග 234 දක්වාත් මේ වන විට ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
සෞඛ්‍ය සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඇමැතිවරයා ඊයේ (11) මේ බව ප්‍රකාශ කළේය.

ලබන මාර්තු පමණ වන විට රෝහල්වලට අවශ්‍යම ඖෂධ මොනවාද කියා මුළුමණින්ම ඖෂධ නාම ලේඛනය සංශෝධනය කර අවසන් කළ හැකි බව වෛද්‍ය සැපයීම් අංශය පවසයි.

ලෝකයේ නව සොයාගැනීම් අනුව අලුතෙන් වෛද්‍ය උපකරණ හා ඖෂධ වර්ග නිෂ්පාදනය සිදුවන බවත් ඒ අනුව පැරණි ඖෂධ හා වෛද්‍ය උපකරණ ඉවත්වීම නිසා මෙසේ අනවශ්‍ය අයිතම වර්ග ගෙන්වා බෙදා හැරීමට වෛද්‍ය සැපයීම් අංශය පසුගිය කාලයේ කටයුතු කර ඇති බවත් ඇමැතිවරයා කීය.

මෙරට රෝහල්වලට අවශ්‍ය ඖෂධ බෙදාහැරීමේ කටයුතු වෛද්‍ය සැපයීම් අංශය මඟින් සිදුකරන අතර ඖෂධ, වෛද්‍ය උපකරණ ඇතුළු අයිතම වර්ග 21,000 ක් පමණ මේ අංශය මඟින් රෝහල්වලට බෙදාහැරීම සිදුකෙරේ. රසායනාගාර සඳහා අවශ්‍ය අයිතම වර්ග අතරින් සියයට 87 ක් ඉවත් කිරීමට ද මේ වැඩසටහනට අනුව හැකියාව ලැබී තිබේ.
අවුරුදු ගණනාවක් මේ ඖෂධ නාම ලේඛනය සංශෝධනය නොකිරීම නිසා මෙසේ අනවශ්‍ය ලෙස මුදල් වියදම් කිරීමට වෛද්‍ය සැපයීම් අංශයට සිදුව තිබේ.

මෙසේ අනවශ්‍ය අයිතමයන් කපා හැර අවශ්‍ය වෛද්‍ය උපකරණ හා ඖෂධ වර්ග ගෙන්වීමට පමණක් යොමු වීමෙන් ගුණාත්මක අයිතම වර්ග ගෙන්වීමට හැකි බවත් මේ වැඩසටහන ක්‍රියාත්මක කරන වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කමල් ජයසිංහ ඇතුළු කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වන බවත් ඇමැතිවරයා කීය.

මේ අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති අධිනීතිඥ ලලිත් දිසානායක, ලේකම් විශේෂඥ වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු, අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල, අතිරේක ලේකම් (සංවර්ධන) සරත් චන්ද්‍රසිරි විතාන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය ) වෛද්‍ය සරත් අමුණුගම, වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කමල් ජයසිංහ යන මහත්වරු සහභාගි වූහ.

dinamina 2012.01.13

No comments:

Post a Comment