Saturday, January 7, 2012

2012 වසරේ ඖෂධ මාෆියාවට තිත තියනවා-සෞඛ්‍ය හා පෝෂණ ඇමැති මෛත්‍රීපාල සිරිසේන



නිදහස් සෞඛ්‍ය සේවාවන් ක්‍රියාත්මක වන රටවල් අතරින් අප රට ප්‍රමුඛ වන්නේ සෞඛ්‍ය සේවාව පූර්ණ වශයෙන්ම නිදහස්ව පවත්වාගෙන යන රටක් වශයෙනි. අපගේ සෞඛ්‍ය සේවාව දකුණු ආසියාවේදී දෙවැනි වන්නේ ඉන්දියාවට පමණි. ගෝලීය තරගකාරීත්වය හමුවේ වඩාත් ඉදිරියට පැමිණ ඇති ඉන්දීය සෞඛ්‍ය සේවාව තාක්ෂණිකව මෙන්ම ශිල්පීයව දියුණුවට පත්ව ඇත්තේ සේවාවකට වඩා තරගකාරී වෙළෙඳපොළ න්‍යායනට අනුගතවය.

පූර්ණ වශයෙන්ම නිදහස් වූ සෞඛ්‍ය සේවයක් පැවැත්වීම සම්බන්ධයෙන් අප සිටිනුයේ ඉන්දියාවට ද ඉහළිනි. වර්තමාන සෞඛ්‍ය සේවාව මුහුණ දෙන අභියෝගය වන්නේ, එය පූර්ණ වශයෙන්ම නිදහස්ව පවත්වාගෙන යන අතරේම වඩා දියුණු මට්ටමේ සේවාවක් බවට පත්කිරීමේ ඉලක්ක ජයගැනීම වෙතයි.

අපගේ නිදහස් සෞඛ්‍ය සේවයේ සැබෑ ඵල මහජනතාවට මුළුමනින්ම ළඟාවීමේ අවස්ථාව ඇහිරී තිබෙන්නේ මේ ක්ෂේත්‍රයේ කාලයක් පුරා ක්‍රියාත්මක වන විවිධ ඒකාධිකාරයන් හා මාෆියාවන් හේතුවෙනි. ඖෂධ මාෆියාව මේවා අතරින් ප්‍රමුඛ වෙයි. 2012 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ඖෂධ මිල පාලන පනත මෙය පැරදවීමේ එක් මඟකි. මේ පිළිබඳව මෙන්ම, සෞඛ්‍ය ක්ෂේත්‍රය ජයගත යුතු නව අභියෝග හා වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව අදහස් දක්වන්නේ සෞඛ්‍ය හා පෝෂණය පිළිබඳ අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතායි.

මේ වසරේ සිට ඖෂධ සඳහා පාලන මිලක් නියම වන බව සඳහන් වුණා?

මේ වසරේ ක්‍රියාත්මක වන වැඩසටහන් අතරින් ඖෂධ සඳහා පාලන මිලක් ඉදිරිපත් කිරීම එක් වැඩසටහනක් පමණයි. ඇත්තෙන්ම 2012 වර්ෂය නිදහස් සෞඛ්‍ය සේවාවේ පරිවර්තන යුගයක් ඇරැඹෙන වසරක්. මේවා අතරින් ප්‍රමුඛ වන්නේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමයි. එය කඩිනම් කිරීම පිළිබඳව ජනාධිපතිතුමාගේත් විශේෂ උනන්දුවක් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය වන නීති රීති හා පනත් සැකසීම දැනටමත් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව සිදුකර අවසන්. ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ආයතන සකස් කිරීම පෙබරවාරි මාසයේදී එම පනත් පාර්ලිමේන්තුවට ගෙන ඒමෙන් අනතුරුව සිදු කිරීමට නියමිතයි.

මේ අනුව ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ පනත් දෙකක් ඉදිරිපත් වීමට නියමිතයි.

1. ඖෂධ ප්‍රමිති නියාමන පනත

2. සුවඳ විලවුන් හා ඖෂධ අධිකාරි පනත

ඖෂධවලට පාලන මිලක් නියම කිරීම, ඖෂධ ආනයනය හා ඖෂධ බෙදා හැරීම වැනි කටයුතු රැසක් ජාතික ප්‍රතිපත්තියකට අනුව ක්‍රියාවට නැංවීමට මෙම පනත් සම්මත කිරීමෙන් ඉටුකිරීමට අපේක්ෂා කරනවා.

ඖෂධ වෙළෙඳාම හා බැඳි බහුජාතික සමාගම් හා සෞඛ්‍ය සේවයේ ඇතැම් නිලධාරීන් අතර මහා පරිමාණයෙන් කෙරෙන වෙළෙඳ අධිකාරය මේ මඟින් නැවැත්විය හැකියි කියා විශ්වාස කරනවා ද?

ඖෂධ සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට අප උත්සාහ දරන්නේ මෙම ගැටලු සියල්ලටම සරිලන පිළිතුරු ලබාගැනීම සඳහායි. අප සතුව පවතින ඖෂධ සඳහා දත්ත බැංකුවක් පවත්වා ගැනීමට දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය මුල් තැනක් දීම දැනටමත් සිදු වෙනවා. අප මිලදී ගන්නා ඖෂධ අතරින් සියයට අසූවක්ම මිලදී ගන්නේ ඉන්දියාවෙන්. අපගේ ඖෂධ සංස්ථාවේ දැනට නිෂ්පාදනය කරන්නේ ඖෂධ වර්ග 40 ක් පමණයි.

පෞද්ගලික අංශයේත් එවැනිම ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙනවා. දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය දිරිගැන්වීමට මෙවර අයවැයෙන් විශේෂ වරප්‍රසාද සලසා තිබෙනවා. කුරුණෑගල ප්‍රදේශයේ ඖෂධ නිෂ්පාදනය සඳහා ම වෙන් වුණු ආයෝජන කලාපයන් පිහිටුවීමට කටයුතු කෙරෙමින් පවතිනවා. මේවා දියුණු කිරීමෙන් සෞඛ්‍ය සේවාව වඩාත් ඵලදායි මට්ටමකට ගෙන ඒමේ හැකියාව තිබෙනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙතෙක් ක්‍රියාත්මක වූ දූෂණ අක්‍රමිකතා බොහොමයක් ඖෂධ හා වෛද්‍ය උපකරණ මිලදී ගැනීම හා ඒවායේ ටෙන්ඩර් ක්‍රමය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ඇතිවූ එම ගැටලු මඟ හැරීම සඳහා පසුගිය කාලයේ අප කැබිනට් අනුකාරක සභාවක් පිහිටුවා කරුණු ගවේෂණය කළා. මේ සඳහා අපගේ අමාත්‍යාංශයෙනුත් යෝජනාවන් ඉදිරිපත් වුණා. මේ සියල්ලම එක්කොට දැනට ක්‍රියාත්මක වන ඖෂධ මිලදී ගැනීම සඳහා වන ටෙන්ඩර් ක්‍රමය ක්‍රමවත් කිරීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙනවා.

වාර්ෂිකව ඖෂධ මිලදී ගැනීමට රජය රුපියල් බිලියන 21 කට ආසන්න මුදලක් වියදම් කරනවා. දිනකට රජයේ ඖෂධ සැපයීමේ අංශය සහ ඖෂධ සංස්ථාව ටෙන්ඩර් 25 ක් 30 ක් අතර සංඛ්‍යාවක් විවෘත කරනවා. වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා වසරකට බිලියන 10 ක පමණ මුදලක් වැය කරනවා.

මේ වසරේදී නිදහස් සෞඛ්‍ය සේවාව සඳහා රජයෙන් වෙන්කර ඇති මුදල බිලියන සියය ඉක්මවනවා. මීට අමතරව විදේශ ආධාර ප්‍රදානයන් වශයෙන් ඉන්දියා, ඇමෙරිකා, ඩෙන්මාර්ක්, ස්පාඤ්ඤය, ජපානය වැනි රටවලින් මේ වසරට මිලියන අටදහසක් වැනි මුදලක් ලැබී තිබෙනවා. මේ මුදල් සියල්ල නිදහස් සෞඛ්‍ය සේවාව පවත්වාගැනීමට මෙන්ම එය වැඩි දියුණු කිරීමේ අරමුණින් යෙදවීමේ වගකීමෙන් බැහැර විය නොහැකියි.

දුම්කොළ හා මධ්‍යසාර සම්බන්ධයෙන් නව පනතක් ඉදිරිපත් වන බව සඳහන් වුණා.

දැනට පවතින දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ගැටලු නිරාකරණය කර ගැනීමට පවතිනා පනතේ අඩුපාඩු පවතිනවා. ඒ නිසා ඊට අවශ්‍ය සංශෝධන සමඟින් නව පනතක් ඉදිරිපත් වෙනවා.

උදාහරණයක් විදිහට සිගරට් පැකැට්ටුවේ දැන් සඳහන් වන්නේ “දුම්බීම සෞඛ්‍යයට අහිතකරයි” යන වාක්‍ය හෝ ඒ අදහසට සමාන අදහසක්. නමුත් නව පනත සම්මත වීමෙන් අනතුරුව “දුම්බීම මාරාන්තිකයි” යන ශීර්ෂය සෑම සිගරට් පැකැට්ටුවකම අන්තර්ගත විය යුතුයි. ඒ වගේම මත්ද්‍රව්‍ය හා දුම්වැටි ප්‍රචාරණය සම්බන්ධ නීතිරීතිත් දැඩි වෙනවා.

පෞද්ගලික රෝහල් සඳහා නව පනතක් ගෙන ඒමට අදහස් කරන බව සඳහන් වුණා?

පෞද්ගලික රෝහල් කළමනාකරණය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන්නේ පුද්ගලික රෝහල් නියාමන සභාවයි. මෙම රෝහල් නියාමනය කිරීමේ සභාව පිහිටුවා ඇති පනත ඉතාම දුර්වලයි. ඒ නිසාම පෞද්ගලික රෝහල්වල ක්‍රියාත්මක වන දේවල් හා ඒවායෙන් සේවාවන් ලබාගන්නා පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජයට මැදිහත්වීමට ඇති අවකාශය සීමිත වී තිබෙනවා. මේ දුර්වලතා මඟහැරීම සඳහා පෞද්ගලික රෝහල් නියාමන සභා පනත සංශෝධනය කෙරෙනවා.

අපගේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ජයගත යුතු ප්‍රධානතම අභියෝගයන් ලෙස බෝ නොවන රෝග වළක්වා ගත යුතු බවට කාලෝ ෆොන්සේකා මහතා අදහසක් ඉදිරිපත්කර තිබුණා.

බෝ නොවන රෝග වළක්වා ගැනීම මෙන්ම මන්දපෝෂණය දුරුකර රෝග නිවාරණය කිරීම අපගේ සෞඛ්‍ය ප්‍රතිපත්තියේ ප්‍රධානතම අංගයක්. අප ජාතික පෝෂණ සභාව පිහිටවූයේ මේ අරමුණු ජය ගැනීම සඳහායි.

මේ අනුව මන්දපෝෂණය වැළැක්වීම මෙන්ම යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ඇති කිරීම සඳහා දීප ව්‍යාප්තව ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් සංවිධානය වෙනවා.

මේ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය මෙන්ම පළාත් සෞඛ්‍ය ආයතනත් ඒකාබද්ධ වූ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා.

ලංකාවේ දිනකට උපදින ප්‍රමාණය 1000 ත් 1500 ත් අතර වෙනවා. ලංකාවේ දිනකට මියයන ප්‍රමාණය 900 ත් 1000 ත් අතර ප්‍රමාණයක්. මේ මියයන අය අතරින් සියයට හැටක පිරිසක් මිය යන්නේ කිසියම් හෝ බෝ නොවන රෝගයක් හේතුවෙන්. දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝග, වකුගඩු රෝග මේ අතරින් ප්‍රමුඛ වෙනවා. මේ ගැටලුව අපට පමණක් නොවෙයි ලෝකයම මුහුණ දෙන අභියෝගයක්. බෝ නොවන රෝගවලට මූලිකම හේතුව වී ඇත්තේ මත්පැන් හා දුම්පානයයි. අනෙක් හේතුව ආහාර පරිභෝජනයේ ඇති අක්‍රමවත් බවයි. මේවා වැළැක්වීම සඳහා දැනුම්වත් කිරීම හා උපදේශනය වැදගත් වෙනවා.

මුලින් සඳහන් කළ ඖෂධ ප්‍රමිතිකරණය සඳහා පාලන මිලක් මෙන්ම ප්‍රමිතියක් ඇති කිරීමේ වැඩසටහන ක්‍රියාවට නැංවීමේදී පුහුණු ඖෂධවේදීන්ගේ හිඟකම හේතුවෙන් අපේක්ෂිත ප්‍රතිඵල නෙළා ගැනීමේ ගැටලු පවතින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කර තිබුණා?

පුහුණු ඖෂධවේදීන් හිඟකම ගැටලුවක් බව අපි හඳුනාගෙන තිබෙනවා. දැනටමත් ඖෂධවේදීන් සඳහා විශ්වවිද්‍යාල මට්ටමින් උපාධියක් අරඹා තිබෙනවා. මෙසේ අධ්‍යාපනය අවසන් කළ අය ඉදිරියේදී මේ වෘත්තියට එක්වීමෙන් පවතින ගැටලුව යම් තාක් දුරට විසඳේවී.

ගැටලු පවතින බව ඇත්තක් වුවත් අපි ගත යුතු පියවර ගත යුතුයි. සියලු පනත් සැකසෙන්නේ මහජනතාවගේ පැත්තෙන් හොඳ සෞඛ්‍ය සේවාවන් සැලසීමට ගැටලු හා අඩුපාඩු සියල්ල සම්පූර්ණකර ඉදිරියට යා නොහැකියි.

පසුගිය කාලයේ ජාතික තත්ත්ව සම්මාන හා ප්‍රමිති සහතික ලත් රජයේ රෝහල් බොහොමයකම කළමනාකාරිත්වය ඉතා උසස් මට්ටමක පවතිනවා. මේ අතරේ ජයවර්ධනපුර වැනි ඉතා දියුණු මට්ටමක පැවති රෝහල් දුර්වල කළමනාකාරිත්වය හේතුවෙන් බිඳ වැටීමකට ලක්වී තිබුණා.

ඕනෑම තැනක දියුණුවට හා පරිහානියට බලපාන්නේ නායකත්වයයි. අපගේ රජයේ රෝහල් බොහොමයක් ඒවාට ලබා දෙන සම්පත් හොඳින් කළමනාකරණය කර හොඳ සේවාවන් ලබාදීමට කටයුතු කර තිබෙනවා. මේ සඳහා බොහෝ වෛද්‍ය කාර්ය මණ්ඩල වගේම අනෙකුත් සේවකයින් කැපවී කටයුතු කර තිබෙනවා. නමුත් සමහර තැනක තත්ත්වය ඉතාම කනගාටු දායකයි. ජයවර්ධනපුර රෝහලේ තත්ත්වය මේ පොදු තත්ත්වයට වඩා වෙනස්.

එය පාලනය වන්නේ ඊටම විශේෂිත පනතකින්. මේ පනත නිසාම එම රෝහලේ සේවය කරන වෛද්‍යවරුන් මෙන්ම අනෙකුත් කාර්ය මණ්ඩලවලට සෞඛ්‍ය සේවාවේ අනෙකුත් අයට හිමි වරප්‍රසාද අහිමි වී තිබෙනවා. උදාහරණයක් විදිහට අපගේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුනට වැඩිදුර අධ්‍යාපනය සඳහා ක්‍රියා පටිපාටියක් තිබෙනවා. මේ තත්ත්වය ජයවර්ධනපුර නෑ. රජයේ අනෙකුත් රෝහල්වල කාර්ය මණ්ඩල නිතර අලුත් වෙනවා.

ජයවර්ධනපුර තවමත් සිටින්නේ එය පිහිටවූ වකවානුවේ බඳවා ගත් අයමයි. මේ නිසා ගැටලු බොහොමයක් ඇතිවී තිබෙනවා. මේ ගැටලු මඟ හැරීම සඳහා ජයවර්ධනපුර රෝහල සඳහා වන පනත සංශෝධනය කිරීමට අවශ්‍ය කටයුතු කෙරෙමින් පවතිනවා.

විවිධ සැත්කම් සඳහා වාර්ෂිකව පිටරට යන ප්‍රමාණය දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා. උදාහරණයක් විදිහට ඇටමිදුළු බද්ධය. ලක්ෂ ගණනින් මුදල් වැය කරමින් පිටරට යාමට සිදු වනවා. සෞඛ්‍ය සේවයේ මෙවැනි අංශ දියුණු විය යුතුයි නේද?

හෘද සැත්කම්, පෙනහලු, ඇට මිදුළු ආදි අවයව බද්ධ කිරීම සම්බන්ධයෙන් ගැටලු රාශියක් පවතිනවා. විශේෂයෙන්ම බද්ධ කිරීම සඳහා මේ අවයව ලබා ගැනීමේ විශාල අභියෝගයක් තිබෙනවා. බොහෝ රටවල මේ අවයව මුදල්වලට අලෙවි කරනවා.

අවයව මුදලට අලෙවි කිරීම අපේ රටේ මුළුමනින්ම තහනම්. ඒ වගේම එය අපේ සමාජය ප්‍රතික්ෂේප කරනවා.

පසුගිය වර්ෂයේ මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෛද්‍යවරු සියල්ලම වාගේ අමාත්‍යාංශයට ගෙන්වා සාකච්ඡා කළා. මේ පිළිබඳව වාර්තාවක් සකස්කර දෙන ලෙස මා ඔවුන්ට යෝජනා කළා. ඒ අනුව ඉදිරියේදී පිටරට ගොස් ලක්ෂ ගණනින් වැය කිරීමට සිදුවන සැත්කම් අපගේ රෝහල්වලම සිදුකර ගැනීමට හැකි වාතාවරණයක් ගොඩ නැඟිය හැකියි. අපගේ සෞඛ්‍ය සේවාව ඒ මට්ටමට උසස් කිරීමට නම් ඒ සඳහා ඒ ඒ අංශවල සේවය කරන වෛද්‍ය නිලධාරීන්ගේ සහාය අත්‍යාවශ්‍යයි.

මෙසේ දියුණු වූ අංශ ගණනාවක්ම දැනටමත් අපගේ රටේ ක්‍රියාත්මක වෙනවා. මහනුවර රෝහලේ වකුගඩු අංශය ගොඩනැංවූයේ වෛද්‍ය තිලක් අබේසේකර මහතාගේ පෞද්ගලික කැපවීමෙන්?

එසේ ක්‍රියාත්මක වෙන අංශ වගේම රෝකල් ප්‍රධානීන් ද සිටිනවා. ඒ අතරත් වෛද්‍ය තිලක් අබේසේකර කියන්නේ මේ ක්ෂේත්‍රයේ වැඩ කරන දෙවියන් බඳු අය. එබඳු මිනිසුන් සිටිනවානම් අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කිරීම දුෂ්කර ක්‍රියාදාමයක් නෙමෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් හැටියට ප්‍රාදේශීය සභාවල අයවැය යෝජනා පරාජය වීම පිළිබඳ ඔබේ අදහස කුමක් ද?

ඇත්තෙන්ම එය ගැටලු සහගත තත්ත්වයක්. මේ තත්ත්වය ඇතිවීමට ප්‍රාදේශීය සභා පනතේ ඇති දුර්වලතා විශේෂයෙන්ම බලපා තිබෙනවා. පුද්ගලයකුට ඇති විරෝධය නිසා අයවැය යෝජනාවට විරුද්ධ වීම් සිදු වෙනවා. ප්‍රාදේශීය සභා පනත සංශෝධනය වීමෙන් මේ ගැටලුවට නිසි පිළිතුරක් ලැබේවි යයි සිතනවා. වගකීම පැහැර හරින ප්‍රාදේශීය සභා සභිකයන් වෙනුවෙන් විනයානුකූලව කටයුතු කිරීමටත් පියවර ගනිමින් සිටිනවා.

විවිධ දේශපාලනික කාරණා සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුළේ පරස්පර විරෝධී අදහස් ඉදිරිපත් කෙරෙනවා. මහලේකම්වරයා හැටියට මේ පිළිබඳ ඔබගේ අදහස කුමක් ද?

මෙය කිසිසේත්ම අනුමත කළ නොහැකියි. ඒ ඒ පක්ෂයේ පෞද්ගලික මතයන් පැවතිය හැකියි. නමුත් සන්ධානයක් හැටියට ක්‍රියාත්මක වීමේදී පොදු මතයට හිස නැමිය යුතුයි.

මෙබඳු තත්ත්වයන් ඇතිවීම සාමාන්‍යයි. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සුහද හමුවන් සංවිධානය කිරීමට අපි තීරණය කර තිබෙනවා. ඒ සංගායනාවෙන් පස්සෙ සියලු රෝග නිවාරණය වේවි.

සංවාද සටහන
බුද්ධිකා බ්‍රාහ්මණගේ
ඡායාරූපය - විමල් කරුණාතිලක
Silumina 2012.01.01.08

No comments:

Post a Comment