Monday, January 30, 2012

උ/නැ කලා වාණිජ අයත් හෙද සේවයට බඳවා ගනී හෙද හෙදි හිඟයට රජයෙන් විසැඳුමක්

සන්ධ්‍යා කරුණාරත්න
උතුරු නැඟෙනහිර පවතින හෙද හිඟයට විසඳුමක් ලෙස එම පළාත්වල කලා හා වාණිජ්‍ය විෂය ධාරාව හදාරා උසස්පෙළ සමත් සිසුන් හෙද පුහුණුව සඳහා බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරයි.
එම පළාත්වල පවතින හෙද හිඟයට තාවකාලික විසඳුමක් ලෙස මෙසේ හෙද පුහුණුවට සිසුන් බඳවා ගැනීමට තීරණය කර තිබෙන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.
උතුරු නැඟෙනහිර පළාත්වල පවතින අධ්‍යාපන ක්‍රියාවලිය යථා තත්ත්වයට පත්වන තෙක් මේ පියවර ගන්නා බව ඇමැතිවරයා පවසයි.
එම පළාත්වල වසර තිහක් තිස්සේ පැවැති ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසුව වර්තමානය වන විට එහි අධ්‍යාපන ක්‍රියාවලිය සාර්ථක මට්ටමකට පැමිණෙමින් තිබෙන බව ද ඇමැතිවරයා කීය.
විද්‍යා විෂය ධාරාව හැදෑරූ සිසුන් හැර උසස්පෙළ කලා හෝ වාණිජ විෂය ධාරාව හැදෑරූ සිසුන් හෙද පුහුණුවට බඳවාගැනීම පිළිබඳ ඇතැම් වෘත්තීය සමිති සාමාජිකයන් විරෝධතාව පළ කර ඇති බවත් ඒ නිසා අලුතින් හෙද සේවයට බැඳෙන හා හෙද සේවයේ නිරතවන සෑම අයකුම වසර පහක සේවයෙන් පසුව උතුරේ සේවය අනිවාර්ය කළ චක්‍රලේඛයක් නිකුත් කළ බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
මුළු රටේම ජනතාවට එක සමානව සලකන නිසා උතුරු නැඟෙනහිර ජනතාවගේ සෞඛ්‍ය සේවය නංවාලීම රජයේ වගකීමක් වන බවත් ඒ අනුව මේ පියවර ගැනීමට රජය කටයුතු කරන බවත් ඇමැතිවරයා පැවැසීය. උතුරු නැඟෙනහිර ප්‍රදේශවල පවතින මේ හෙද හිඟය තරමක් දුරට හෝ මඟ හැරලීම සඳහා යාපනය හෙද අභ්‍යාස විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් එම පුහුණු පාඨමාලාවෙන් පසුව එම ප්‍රදේශවලම වසර කිහිපයක් ගත වන තුරු සේවයේ යෙදෙන ලෙස ඇමැතිවරයා ඔවුන්ගෙන් ඉල්ලීමක් කරයි.

Dinamina 2012.01,30

No comments:

Post a Comment