Wednesday, January 25, 2012

විසඳුම 1 වැනිදා නොලැබුණොත් පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ 7 වැනිදා සිට දිගටම වර්ජනයේ

ඒමන්ති මාරඹේ

ලබන පෙබරවාරි මස පළමුවැනිදා වැටුප් හා සේවක සංඛ්‍යාන කොමිසම සමඟ පැවැත්වෙන සාකච්ඡාවේදී සිය ප්‍රධාන ඉල්ලීම් සඳහා පිළිගත හැකි විසඳුම් නොලැබුණහොත් පෙබරවාරි 07 වැනිදා සිට දීප ව්‍යාප්ත අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කිරීමට පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බලමණ්‌ඩලය තීරණය කර තිබේ. පෙරේදා (24 දා) රැස්‌වූ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බලමණ්‌ඩලයේ විධායක කමිටුව විසින් මෙම වර්ජන තීරණය ගත් බව එම බලමණ්‌ඩලයේ ප්‍රධාන ලේකම් සමන් ජයසේකර මහතා "දිවයින" ට පැවැසීය. රජයේ ඖෂධවේදීන්, විකිරණ ශිල්පීන්, භෞතවේද චිකිත්සකයන්, වෛද්‍ය රසායනාගාර කාර්මික ශිල්පීන් (එම්. එල්. ටී) හා වෘත්තීයවේදී චිකිත්සකයන් යන පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයන්ගේ නොවිසඳී පවතින සේවා ඉල්ලීම් 8 න් ප්‍රධාන ඉල්ලීම් 3 වන දීමනා විෂමතාවන් ඉවත් කිරීම, වසර 15 ක්‌ මුළුල්ලේ ප්‍රමාද වෙමින් පවතින විශේෂ ශ්‍රේණියේ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ උසස්‌වීම් ක්‍රියාත්මක කිරීම හා සම සෞඛ්‍ය උපාධිය සමත් පරිපූරක වෛද්‍ය සේවා උපාධිධාරීන් පිරිස සේවයට බඳවා ගැනීම යන ඉල්ලීම්වලට පිළිගත හැකි කඩිනම් විසඳුම් බලාපොරොත්තු වන බව ඔහු කීවේය.

එම ඉල්ලීම්වලට විසඳුම් නොලදහොත් තීරණය කර ඇති පරිදි 7 වැනිදා සිට අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ කරා යොමු වන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

Divaina 2012.01.26

No comments:

Post a Comment