Thursday, January 19, 2012

සෞඛ්‍ය වෘත්තීය සමිති රැසක් වෘත්තීය ක්‍රියාමාර්ග අරඹයි

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති රැසක් මේ වන විට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරතවීමට තීරණය කර තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගම‍ය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සහ පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය මෙලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වේ.
උතුරු සහ නැගෙනහිර සේවය කරන වෛද්‍යවරුන් කිහිපදෙනෙකුට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් විසින් අත්තනෝමතිකව ස්ථාන මාරූවීම් ලබාදි ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.
මෙම අත්තනෝමතික ස්ථාන මාරූවීම් අවලංගු කිරීමට පියවර නොගතහොත් ලබන සතියේ සිට උතුරු නැගෙනහිර පළාත්වල වෛද්‍යවරුන් සේවාවලින් ඉවත් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ‍මධ්‍යම කාරක සභික වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.
මේ අතර හෙද සේවාවේ ගැටලු සඳහා සති දෙකක් තුළ විසඳුම් ලබානොදෙන්නේ නම් දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.
පරිපුරක වෛද්‍ය වෘත්තිකයින් ද ඊයේ(18) පෙරවරු අටේ සිට අද පෙරවරු අට දක්වා දිවයින පුරා රෝහල්වල අසනීප නිවාඩු වාර්තා කර තිබේ.
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කළ බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති හරේන්ද්‍ර කුරුප්පු මහතා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් අදාළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දිවයිනේ රෝහල් රැසක රෝගීන් දැඩි අපහසුතාවයකට පත්විය.
රසායනාගාර සේවා කටයුතු, ඖෂධ නිකුත් කිරීම්, එක්ස්රේ හා ස්කෑන් පරීක්ෂණ කටයුතු රෝහල් රැසක ඇනහිට තිබූ බව රෝහල් බලධාරීන් සඳහන් කරයි.

adaderana.lk

No comments:

Post a Comment