Monday, January 9, 2012

රජයේ සේවකයන්ට ගෙවන වාට්ටු සෑම ප්‍රධාන රෝහලකම ඉදිකරයි මුදල් ප්‍රතිපාදන රක්ෂණ සංස්ථාවෙන් ජාතික රෝහලේ තට්ටු 8ක් වෙන් කෙරේ

රාජ්‍ය සේවකයන් සඳහා ගෙවන වාට්ටු සංකීර්ණ රජයේ සෑම ප්‍රධාන රෝහලකම ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. රජයේ මැදිහත් වීම යටතේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ මූල්‍ය අනුග්‍රහය මගින් මේ ගෙවන වාට්ටු සංකීර්ණ මේ වසරේ ඉදිකිරීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලීමක් පරිදි මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමඟ සාකච්ඡා කර මේ සඳහා මූල්‍ය අනුග්‍රහය ලබාදීමට නියමිතය.
මෙසේ ඉදිකරන ගෙවන වාට්ටු පහසු මිලකට රජයේ සේවකයන්ට ලබාදීම සිදු කෙරේ.

රක්ෂණය මගින් රෝගීන්ගෙන් අය කරන මුදල් නැවත රජයට ලැබීම ඔස්සේ රෝහල් සංවර්ධනය සඳහා ඒ මුදල යෙදවීමට හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. රජයේ සේවකයන් සඳහා දැනට ක්‍රියාත්මක කරන අග්‍රහාර රක්ෂණ ක්‍රමය යටතේ රාජ්‍ය සේවකයන් විශාල පිරිසක් පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබාගැනීම සිදුකරයි.
මහල් විසිපහකින් යුත් ගොඩනැඟිල්ලක් කොළඹ ජාතික රෝහලේ මේ වන විට ඉදිකරමින් පවතියි.
එහි පළමු මහලේ සිට දහසයවැනි මහල දක්වා බාහිර රෝගී අංශයත්, රසායනාගාර, ඔසුසල්, සායනික මධ්‍යස්ථාන, හදිසි ප්‍රතිකාර අංශ යනාදිය ඉදිකෙරේ.

17 වැනි මහලේ සිට 25 වැනි මහල දක්වා මහල් නවය සම්පූර්ණයෙන්ම ගෙවන වාට්ටු සංකීර්ණයක් බවට පත් කරනු ඇත.

මහින්ද චින්තන ප්‍රතිපත්තියට අනුව සෞඛ්‍ය සම්පන්න රාජ්‍ය සේවකයන් පිරිසක් බිහිකිරීමේ අරමුණින් මේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත් කිරීමට යන ගමනේදී සෞඛ්‍ය සම්පන්න රාජ්‍ය සේවකයන් පිරිසක් බිහිවීම වක්‍රාකාරයෙන් රටේ සංවර්ධනයට බලපාන බවත් නිරෝගීමත් රාජ්‍ය සේවකයන් පිරිසක් බිහිකිරීමෙන් රජයේ මේ ඉලක්කය පහසුවෙන් ජය ගැනීමට හැකි බවත් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ අනුව පහසු ගෙවීම් ක්‍රමය යටතේ රජයේ සේවකයන්ට රජයේ රෝහල්වල ගෙවන වාට්ටුවලින් ප්‍රතිකාර ලබාදීම මගින් අපේක්ෂා කරන්නේ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් මෙරට බිහිකිරීම බවත් ඇමැතිවරයා කීය.

.dinamina 2012.01.09

No comments:

Post a Comment