Tuesday, January 24, 2012

හෙද සේවාවට බඳවා ගැනීමේ නව පටිපාටියට එරෙහිව දිවයින පුරා උද්ඝෝෂණ

ඒමන්ති මාරඹේ

විද්‍යා විෂය ධාරාවෙන් අ.පො.ස. උසස්‌ පෙළ සමත් වූවන් බඳවා ගත යුතු වන හෙද සේවාවට උසස්‌ පෙළ කලා හා වාණිජ අංශවලින් සමත් වූවන් බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගෙන තිබෙන තීරණය වෙනස්‌ නොකරන්නේ නම් ඉදිරි සතිය තුළද දිවයින පුරා රජයේ රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාර පවත්වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

හෙද ව්‍යවස්‌ථාවේ 7.2.4 වගන්තියට අනුව හෙද සේවාවට බඳවා ගැනීමේදී උසස්‌ පෙළ ජීව විද්‍යා, ගණිත හා කෘෂි විද්‍යා ධාරාවන් ගෙන් Z අගය මත පමණක්‌ බඳවා ගත යුතු බවත්, එසේ තිබියදී එම සුදුසුකම අවම කරලමින් උතුරු නැගෙනහිර හෙද සේවාව සඳහා යෑයි පවසමින් නැවත වරක්‌ පෙරේදා (23 දා) උසස්‌ පෙළ කලා හා වාණිජ අංශයෙන් සමත් වූවන් 600 ක්‌ පමණ දෙනා බඳවා ගෙන ඇතැයි හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා "දිවයින" ට පැවැසීය.

මෙවැනි තත්ත්වයක්‌ මත ජාතිකව හා ජාත්‍යන්තරව හෙද සේවාවට පවතින වෘත්තීමය තත්ත්වය හෑල්ලුවට ලක්‌වන බවත්, කලා හා වාණිජ විෂය ධාරාවන්ගෙන් උසස්‌ පෙළ සමත් වූවන්ට හෙද පුහුණු විෂය නිර්දේශය යටතේ වන විෂයයන් ග්‍රහණය කරගත නොහැකි තත්ත්වයක්‌ මතුවනු ඇතැයි කී හෙතෙම මේ සම්බන්ධව ලිතව හා වාචිකව තම සංගමය විසින් විරෝධය පළකර තිබියදී මෙවැනි තීරණ ගැනීම බරපතල ගැටලුවක්‌ බව අවධාරණය කළේය.

මේ සම්බන්ධව විමසූ විටදී රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියන් සඳහන් කර සිටියේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල පවතින හෙද හිඟය මඟහැරෙන තෙක්‌ පමණක්‌ තාවකාලික පියවරක්‌ වශයෙන් මෙසේ උසස්‌ පෙළ කලා හා වාණිජ විෂයයන්ගෙන් සමත් වූවන් එම ප්‍රදේශවල හෙද සේවාව සඳහා බඳවා ගන්නා බවට අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබූ බවයි.

Divaina 2012.01.25

No comments:

Post a Comment