Wednesday, January 25, 2012

සෞඛ්‍ය ඇමැති පොරොන්දුව කඩලා තීරණයක්‌ ගන්න වෛද්‍යවරු අද රැස්‌වෙති

ඒමන්ති මාරඹේ

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට සෞඛ්‍ය ඇමැතිවරයා විසින් පත් කරනු ලැබූ අමතර සාමාජිකයන් දෙදෙනාගේ පත්වීම් පොරොන්දු වූ ප්‍රකාරව අවලංගු කිරීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳව තීරණය කිරීම සඳහා කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන්ගේ මහා සභා රැස්‌වීමක්‌ අද (26 දා) දහවල් 12 ට පැවැත්වෙන බව ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිවරයකු "දිවයින"ට පැවසීය.

අදාළ අමතර පත්වීම් දෙක අවලංගු කරන බවට සෞඛ්‍ය ඇමැතිවරයා විසින් පසුගිය 19 වැනිදා (බ්‍රහස්‌පතින්දා) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත ලිත පොරොන්දුවක්‌ ලබාදී ඇතත් සතියක්‌ ගත වූ පසුද එය ඉටුකර නැතැයි එම වෛද්‍ය නිලධාරිවරයා කීවේය. ඒ අනුව ඉකුත් සිකුරාදා පැවැති ජාතික රෝහලේ වෛද්‍යවරුන්ගේ රැස්‌වීමේදී අත්හිටුවීමට තීරණය කළ එම රෝහලේ වෛද්‍යවරුන්ගේ වර්ජනය නැවත දියත්වීමට නියමිතව ඇතැයි හෙතෙම සඳහන් කළේය.

අද දහවල් පැවැත්වෙන මහ සභා රැස්‌වීමට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයන්ද සහභාගි වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තීරණවලට පටහැනිව වෛද්‍ය සභාවේ සභාපතිවරයා විසින් ප්‍රකාශයක්‌ නිකුත් කිරීම සම්බන්ධයෙන් සිය අවධානය යොමුව ඇතැයි පවසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සභාපතිවරයා වෛද්‍ය සභාවේ පොදු තීරණවලට අනුකූලව එම සභාවේ හා වෛද්‍ය අධ්‍යාපනයෙහි ප්‍රමිතිය ආරක්‍ෂා කිරීමට කටයුතු කළ යුතු බව අවධාරණය කර සිටී.

Divaina 2012.01.26

No comments:

Post a Comment