Saturday, January 7, 2012

මාතෘකාව - කාලෝ ෆොන්සේකා තහනම් වචනය - වෛද්‍ය සභාව



මහාචාර්ය කාලෝ ෆොන්සේකා යනු කවදත් අතිශය විවාදාත්මක මාතෘකාවකි. මා මෙන්ම මගේ පරපුරට අයත් බොහෝ දෙනෙකුට මහාචාර්ය කාලෝ ආකර්ෂණීය චරිතයක්‌ද විය. ඔව්හු ස්‌වභාවයෙන්ම උපහාස කතා කීමට දක්‍ෂයහ. ඔහුගේ දේශන විලාසයද සිත් ගන්නා සුළුය. හේ තමන්ට හිමිවූ සුපිරි වෛද්‍ය වෘත්තිය නමැති සඳලු තලය මත සිට සමාජය දෙස බැලීමට රිසි වූයේ නැත. පන්ති සමාජය පිළිබඳ ඔහුගේ අවබෝධය ඉතා පැහැදිලිවම දේශපාලනික එකක්‌ විය. එයට හේතුව වූයේ ඔවුන් සමසමාජ පක්‍ෂය සමඟ දැඩිව සම්බන්ධ වී සිටීමය. එකල වමේ ව්‍යාපාරයට එක්‌ව සිටි ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, ලෙස්‌ලි ගුණවර්ධන, ඩොරික්‌ ද සූසා වැනි වියත් සමාගම්වල සෙවණ ලද මහාචාර්ය කාලෝ පැහැදිලිවම දේශපාලන චරිතයක්‌ ලෙසද වැඩුණි.

මහාචාර්ය කාලෝ සිනමා, කලා, සංගීත යන ක්‍ෂේත්‍ර ගණනාවකද ක්‍රියාකාරී පුද්ගලයෙක්‌ බවට ද පත්ව සිටිති. සැබැවින්ම ඔහු මේ රටේ බිහිවූ ද්විභාෂික පරපුරට අයත් වුවද ඉන් බැහැර විවිධ සමාජ ක්‍රියාකාරකම් වලටද සම්බන්ධ වූවෙකි. විශාරද නන්දා මාලිනි සමඟ සංගීතවේදී රෝහණ වීරසිංහයන් ගයන "රත්තරන් දුවේ" ගීතය ඔහු විසින් රචනා කරන ලද අතිශය ජනප්‍රිය ගීතයක්‌ද විය. ඒ හැර ඔව්හු සිනමා, නාට්‍ය හා බොහෝ සමාජ සංවාද මණ්‌ඩපවල ප්‍රමුඛයකු ද වූහ. උපතින් කිතුනුවකු වුවද හෙතෙම සිය මානසික කුතුහලය නිසාම බෞද්ධ දර්ශනය පිළිබඳවද යොමු වන්ට ඇතැයි මම සිතමි.

බුදු දහමෙහි එන ගැඹුරු සූත්‍ර මෙන්ම ධම්මපදයෙහි එන සුභාෂිතයන්ද ඔහු මුවග ලෙළ දෙයි. මා දන්නා තරමින් ඔහු පල්ලියට ගොස්‌ යාච්ඤා නොකරන අතරම පන්සලට ගොස්‌ ගාථා කියා වඳින්නේද නැත. එහෙත් ඔහු සිය නිල ජීවිතය තුළදී පන්සිල් සමාදන් වන බව මගේ මතකයයි. මා කියන්ට වෑයම් කළේ ඔහු කිසිම ආගමකට දැඩිව යොමු වී නැති බවය. එහෙත් බර්ටන්ට්‌ රසල්ඩ් වැනි දාර්ශනිකයන්ගේ ලෝකවල සැරිසැරීමට ඔහු මහත් සේ ප්‍රිය කරයි. හේ ක්‍රිස්‌තු චරිතයට මෙන්ම බුද්ධ චරිතයටද ගෞරව කරයි.

සමාජයක මුල් බැස ගත් ඇදහිලි හා විශ්වාස පිළිබඳවද විද්‍යාත්මක දෘෂ්ටියකින් බැලීමට ඔහු වෑයම් කළේය. එබඳු අවදානම් අත්හදා බැලීම් සඳහා ඔහු නිර්භයව ඉදිරිපත් වූ බවද අපට මතකය. මම පාසල් සිසුවකුව සිටි යුගයේ ඔහුගේ අදේවවාදයට වශී වී සිටියෙක්‌මි. ඒ කාලයේ ඔහු විද්‍යාත්මකව ගිනි පාගන අයුරු බැලීමට ජනතාව දැක්‌වූ කුහුලද අපට මතකය. ඒ ගිනි පෑගීම එකල පුවත්පත් වල ප්‍රබල විවාදයකට නිමිති වූ වගද මට මතකය.

කාලෝ කොළඹ වෛද්‍ය විද්‍යාලයේ සිටි යුගයේදී ඔහුගේ කාර්යාලය නිරන්තරව පිරී තිබුණේද වෛද්‍ය උපදෙස්‌ පතාගෙන එන විවිධ පුද්ගලයන්ගෙනි. ඔහු ඒ සඳහා මහත් කැපවීමෙන් ක්‍රියා කළ අයුරු මතකය. පෞද්ගලික වෛද්‍ය සේවය සඳහා ඔහු කිසි දිනක නොගිය බවද මගේ අදහසය.

කෙසේ හෝ මහාචාර්ය කාලෝ පිළිබඳව මා තුළ තවත් ධාරණාවන් රැසක්‌ම තිබේ. ඒ දසක තුනකට අධිකව වියතුන් සබා මැද සිටිමින්ද සහෘදයන් අතර රැඳෙමින්ද ඔවුන් හා අප විවිධ ක්‍රියාකාරකම්වල නිරතව සිටි හෙයිනි. එහෙත් මම මෙතැන් සිට ඔහු පිළිබඳ වර්තමාන අර්බුදය දෙසට හැරෙමි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපති ධුරයට මහාචාර්ය කාලෝ ෆොන්සේකා සූරීන් පත්වීම මේ අභිනව විවාදයට හේතු වී තිබේ. මා ඔවුන් හමුවන්නේද ඒ අනුවය. එහෙත් ඔහු ඒ පිළිබඳව කතාබහ කිරීමට මැලි විය. සත්තකින්ම මගේ මාතෘකාව කාලෝ ෆොන්සේකා වුවද තහනම් වචනය වූයේ වෛද්‍ය සභාවය. ඔහු මුලින්ම දැක්‌වූයේ මා පසුබස්‌වන සුළු අදහසකි.

"මට එරෙහිව විරෝධයක්‌ මතුවෙමින් තිබෙන බව ඇත්ත. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඇතුළු සංවිධාන මට එරෙහිව බල මුළු බැඳ සිටින බවත් ඇත්ත. ඒත් සිංහලයේ එන 'පුදනකොටම කාපි යකා' කියනවා වාගේ, දැන්ම ඒ පිළිබඳව කතා නොකිරීමයි මගේ අභිප්‍රාය."

හොඳයි එහෙම නම් ඔබතුමාට එරෙහිව එබඳු ක්‍රියාදාමයකට ඔවුන් යොමු වන්නේ කුමක්‌ නිසාදැයි පැහැදිලි කළ හැකිද?

ඔහු යළිත් වරක්‌ කියා සිටියේ මා හොර පාරකින් ඔහුගේ කල්පනා ලෝකයට ඇතුල්වීමට සැරසෙන බවය. අනතුරුව හේ සුපුරුදු උත්ප්‍රාසයෙන්ම මෙසේ කීවේය.

"දැනට මා පිළිබඳව පවතින විවෘත චෝදනා කීපයක්‌ම තිබෙනවා. පළමුවැන්න මා එම ධුරයට සුදුසු නොවන බවයි. දෙවැන්න මා මේ වනවිටත් ආයතන කීපයකම සභාපති පදවි උසුලන බවයි. තෙවැන්න මා දේශපාලන ගැත්තකු බවයි. සිව්වැන්න මා මහල්ලෙක්‌ බවයි."

ඔහුගේ මුහුණට ආවේ තරමක්‌ ගැඹුරු විලාසයකි. නළල රැලි වැටී දෙබැම තරමක්‌ උස්‌විය. අනතුරුව ඔහු ඒ එකින් එක මෙසේ පැහැදිලි කරන්නටද විය.

"මා එම ධුරයට නුසුදුසු යෑයි කීම මට වැදගත් නෑ. ඔවුන් කියන ආකාරයට මා මිනිස්‌ සිරුර පිළිබඳ විශේෂඥයෙක්‌ විනා වෛද්‍ය විද්‍යාවේ සුවිශේෂ ක්‍ෂේත්‍ර පිළිබඳ හැදැරීමක්‌ නොකළ අයෙක්‌, ඒ මතය දැරීමට ඔවුන්ට තිබෙන ශුද්ධ අයිතියට මා ගරු කරනවා. එහෙත් මා සිතන්නේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මූලික හා ප්‍රාමාණික අවබෝධයක්‌ මට ඇති බවය. මේ විරෝධය දක්‌වන අය අතරත් මගෙන් සිප් කිරි බිවූ අයත් ඉන්නවා, එය වෙනම දෙයක්‌. එහෙත් මෙම ධුරයට අදාළ කටයුතු දෙස බලද්දී මට තිබෙන දැනුම, අවබෝධය හා ශක්‌තිය ප්‍රමාණවත් යෑයි මා සිතනවා.

මේ අය අතර සමහරුන්ට මා දිරවා ගත නොහැකි වීමටත් හේතු තිබෙනවා. එකක්‌ තමයි මම වෛද්‍ය වැඩ වර්ජන අනුමත නොකිරීම. මා වමේ දේශපාලනයට එකඟ නිසා නිතරම මනරංජන වැඩවර්ජනවලට කැමතියි. ගොවි, කම්කරු, ගුරු, ලිපිකරු වැනි අඩු වරප්‍රසාද සහිත පන්ති සමාජයේ පහලට අයත් අය කරන වෘත්තීය අරගල මනරංජන වැඩ වර්ජනයි. එහෙත් ඉහළ වැටුප් හා ඉහළ වරප්‍රසාද සහිත පන්තියක්‌ නියෝජනය කරන පිරිසක්‌ තම පෞද්ගලික අභිලාෂයන් උදෙසා අසරණ ජනතාව ප්‍රාණ ඇපයට තබා ගනිමින් නැතහොත් ඔවුන්ගේ ජීවිත ඔට්‌ටුවට තබා කරන වර්ජන අතිදුර්ජන - වැඩවර්ජන ලෙස මා හඳුන්වනවා.

තවත් වැදගත්ම කරුණක්‌ මා කියන්නම්. මා කිසිදිනක පෞද්ගලික වෙදකම කර නැහැ. ගිලනුන්ගෙන් මුදල් ලබා ගෙන නෑ. බුදුන් වහන්සේ වදාළ පරිදිම ගිලානෝපස්‌ථානය වෛද්‍යවරයකුගේ පරම සීලය ලෙස මා සලකනවා. අද මට ගල් ගසන අය අතර මේ සීලය බිඳ නොගත් කී දෙනෙක්‌ සිටිත්ද? එනිසා මට ගල්ගැසීමට පෙරට ආ යුත්තේ එබඳු පෞද්ගලික චැනල් නොකරන, හිපොක්‍රටීස්‌ ආචාර ධර්ම ගරු කරන අය බවත් මා කියනවා. මා දන්නා පරිදි මෙහිදී මට පැවරෙන වගකීම් ද වෙනස්‌. ඒවා ආචාර ධර්ම හා ප්‍රතිපත්ති පදනම් වූ දේවල් බව මා සිතනවා. මා ඒ ගැන පසුදිනක කියන්නම්.

ඔවුන්ගේ තව චෝදනාවක්‌ තමයි මා සභාපති ධුර කීපයක්‌ දැරීම. ඇත්ත. ඔබත් දන්න පරිදි මා කලා මණ්‌ඩලයේ සභාපති. එමෙන්ම දුම්කොළ හා මද්‍යසාර නිවාරණ ඒකකයේ සභාපතිත් මායි. දැන් මෙම වෛද්‍ය සභාවට මා පත්ව සිටිනවා. මට ඒ ඒ ක්‍ෂේත්‍රවල අවබෝධයක්‌ තිබෙනවා නම් මා ඒ සඳහා තෝරා ගනු ලැබ තිබේනම් එසේම මට ඒ වෙනුවෙන් යමක්‌ කළ හැකි නම් එහි ඇති වරද කිම?

මා දේශපාලන සත්ත්වයෙක්‌ බව සහතිකයි. මා මේ රටේ ධනවාදයට හා පන්ති ක්‍රමයට විරුද්ධයි. සමාජවාදි සිහිනය සැබෑ වනු දැකීමට මා නියෝජනය කරන සමසමාජ පක්‍ෂය කැපවී සිටිනවා. එහෙත් මා කිසි දිනක දේශපාලනඥයන් පසු පස වැටී, ඔවුන්ගෙන් වරදාන ඉල්ලා හෝ ඉල්ලන අයෙක්‌ නොවෙයි. එසේම මේ රටේ බිහිවූ සමාජවාදයට නැඹුරුවූ ආණ්‌ඩු සමඟ මගේ පක්‍ෂය ක්‍රියා කළා. අදත් කරනවා. මාත් ඒවට විවේචනාත්මක සහායක්‌ දෙනවා. මා කලකට පෙර මගේ පක්‍ෂය වෙනුවෙන් එදා වේදිකාවට නැගලා "විමුක්‌ති බණ" කී අයෙක්‌. ඒත් මා රජයක ගැත්තකු වී නැහැ.

වර්තමාන රජය උත්කෘෂ්ඨ රඟහලක්‌ ජාතියට දුන්නා. ඒ සමඟම ලාංකික කලා ශිල්ප පිළිබඳ ලොවට පෙන්වූ අසහාය විද්වතකු වූ ආනන්ද කුමාරස්‌වාමිගේ නම ඉවත් කර ඒ වෙනුවට නෙළුම් පොකුණ මාවත යනුවෙන් හානියකුත් කළා. මා එයට එකඟ නැහැ. මා මගේ කාලයේ මිත්‍රයන්, දේශපාලනඥයන්, ඔබ වැනි මාධ්‍යවේදීන් සමඟ එය නිවැරදි කර ගැනීමට කැප වෙනවා. එය අසීරු වැඩක්‌ කියා මා සිතන්නේ නෑ.

මා මහල්ලෙක්‌ බව කියන අය මිනිස්‌ ස්‌වභාවය නොදන්නා අය. ජරා, මරණ පොදු දෙයක්‌ නේ. බුදුන්ටත් ඒ දහම වලක්‌වන්ට බැරි උනා. එහෙත් වැදගත්ම දේ සම්මා සතිය. සම්මා දැක්‌ම. එසේ නොමැතිව වඩාත් සුපුරුදු යෙදුමකින් කියනවා නම් "පිස්‌සු කෙලිනවා" නම් එබඳු අයෙක්‌ වගකීම් දැරීමට සුදුසු නෑ. සමාජ දැක්‌ම, දර්ශනය, ලෝකයේ නව ප්‍රවණතා පිළිබඳ දත් අත්දැකීම් වලින් පරිණත අයෙකු නිරෝගීව, එළඹ සිටි සිහියෙන් යුතුව කටයුතු කරනවා නම් ඔහු මහල්ලෙක්‌ද? මා එයත් ප්‍රතික්‍ෂේප කරනවා."

හොඳයි මහාචාර්යතුමනි, ඔබ පෞද්ගලික විශ්වවිද්‍යාල වෙනුවෙන් පෙනී සිටින ඒ සඳහා දරදිය අදින ලද කෙනෙක්‌ බවට චෝදනාවකුත් තිබෙනවනෙ.

"පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳ මේ රජයේ ප්‍රතිපත්තියක්‌ තිබෙනවා. ඔවුන් එය පිළිගෙන ඒ අනුව ක්‍රියා කරනවා. රටක ප්‍රතිපත්ති නීතියේ වැඩි බර ආණ්‌ඩුවකට තියෙන්නේ. මා ආණ්‌ඩුවල තීරණ ක්‍රියාත්මක කිරීමට කැපවූ බව කීමත් පදනම් විරහිතයි. මා රජයේ වෛද්‍යවරුන් කරන වැරදි වුවත් වැරදි ලෙසට දකින අයෙක්‌. අනෙක මේ රටේ වෛද්‍ය වෘත්තිය, ඒ සංගමයේම අභිමතය විය යුතු යෑයි මා සිතන්නේ නෑ. මා සිතන්නේ අප වැනි වෘත්තිකයන් තීන්දු ගත යුත්තේ ජනතාවගේ පැත්තේ සිටයි. වෛද්‍ය සංගම්වල න්‍යාය පත්‍රවලටත් අප යට විය යුතු නෑ. වෛද්‍ය සභාවට තමන්ගේ විශ්වාස අයකු පත්විය යුතූ බවට ඔවුන් යෝජනා කරන්නේ කුමක්‌ නිසාදැයි ජනතාවට තේරුම් කර දීම මාධ්‍යවලත් වගකීමක්‌. ඔබ දන්නවනේ එකම හඬක්‌ යනු ඒකාධිපතිවාදයක්‌ බව. එනිසානේ විවිධ හඬවල් සහිත එක ලෝකයක්‌ යන සම්මුතිය ඇති උනේ. වෛද්‍ය ශිෂ්‍යයන්ගේ මෙන්ම වෛද්‍ය සංගම්වල අදහස්‌ වලටත් විරුද්ධ අය සිටින බවත් කිව යුතුයි".

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳ අවුලක්‌ තිබෙනවානේ. ඔබ ලවා එයට රජයට වාසිදායක තීන්දු ලබා ගැනීමට ඔබ පත්කළ බවට විවේචනයක්‌ තිබෙනවා.

"මා යළිත් ඔබට කිව යුතුයි. කිසියම් තීන්දුවක්‌ ජනමතයට පටහැනිව ලබා දිය නොහැකියි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අප පිළිගන්නවා නම් ඒ සඳහා නිසි ප්‍රමිතියක්‌ තිබිය යුතුයි. මා ඒ ගැන උනන්දු වෙනවා. වෛද්‍ය වෘත්තියේ අභිමානය, ගෞරවය බිඳ දැමීමට ඉඩ තැබීම සුදුසු නෑ. අද අපට ගල් ගැසීමට පෙළ ගැසෙන අයට අප ගැන තක්‌සේරුවක්‌ කිරීමට ඉඩක්‌ තවම ලැබිලත් නැහැනෙ.

ඔබ කලකට පෙර වෛද්‍ය විද්‍යාලයක උසස්‌ නිලයකට පත් වූවා. ඔබ දන්නවාද එදා ඔබට ශිෂ්‍යයන් ලියූ සටන් පාඨ. කවි.

නෑ. සත්තකින්ම නෑ. ඒවා මා ඉතා සරලව දකින්නේ. තරුණ සිසුන්ට මා කවදත් ආදරෙයි. මොකක්‌ද එදා ලිව්වෙ."

උපාධිය කති බල්ලෝ
කවුරුන්ද මේ වින කළෝ
කුමකටද උගත් ලෝ
අකාලෝචිතය කාලෝ

මහාචාර්යවරයා උස්‌ හඬින් සිනාසෙමින්ම මෙසේ කීවේය.

"කවිය නං පංකාදුයි. ඔබත් දන්නවනේ කවියේ බලය. අනාගතයේදී හොඳ හොඳ කවිත් ලියවෙන්ට පුළුවන්. හැබැයි ඒ වගේම 'කාලො අයං තේ' යනුවෙනුත් කියා තිබෙන බව ඔබ දන්නවානේ."

මහාචාර්ය කාලෝ සමඟ ගැඹුරු සංවාදයකට ගියත් මට ඒ සඳහා ඉඩක්‌ නොවූ බව මුලදීම මම සඳහන් කළෙමි. එහෙත් ඔවුන් සමඟ කළ මේ සංවාදය හෙට කෙරෙන සංවාදයට පූර්විකාවක්‌ වනු ඇතැයි මම සිතමි. මහාචාර්ය කාලෝ ෆොන්සේකා විරෝධය හෙට දවසේදී කෙබඳු ස්‌වරූපයක්‌ ගනු ඇද්දැයි මට කිව නොහැක.

කෙසේ වුවද මෙම වෛද්‍ය සභාව ස්‌වාධීන හා නිර්පාක්‍ෂික ආයතනයක්‌ බවට පත් කිරීමට ඔහු සමත් වන්නේ නම් එයද වැදගත් දෙයකි. රජයේ හෝ වෙනත් සංගමයක හෝ අතකොළුවක්‌ නොවී වෛද්‍ය වෘත්තියේ ගෞරවයද අභිමානයද සුරැකෙන ආයතනයක්‌ බවට වෛද්‍ය සභාව පත්කර ගැනීමේ අවශ්‍යතාවද අපි දනිමු. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ ලංකා වෛද්‍ය සභාවේ ඉතිහාසය පුරාම සභාපතිවරයකු පත් කිරීම සම්බන්ධයෙන් මෙබඳු අර්බුදයක්‌ ඇති නොවූ බවය. වෛද්‍ය සභා ආඥ පනතට අනුව විධිමත් පත්වීමක්‌ කිරීම අදාළ බලධාරීන්ගේ වගකීමක්‌ බවද ඔව්හු කියති.

අපි බලමු. අකාලෝචිත ද කාලෝචිත ද කාලෝ කියා.

ගාමිණී සුමනසේකර
DIVAINA 2012/01/08

No comments:

Post a Comment