Monday, January 23, 2012

අසරණ රෝගීන් වෙනුවෙන් දුෂ්කර සේවයේ යෙදෙන්න ඉන්දීය හිටපු ජනපති කලාම්ගෙන් ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ට ඉල්ලීමක්‌

දුෂ්කර, ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන අසරණ රෝගීන් වෙනුවෙන් වසර කිහිපයක්‌ හෝ දුෂ්කර ප්‍රදේශවල සේවය කරන්න යෑයි ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මහතා ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්‌ කර ඇත.

අබ්දුල් කලාම් මහතා මේ ඉල්ලීම කළේ කොළඹ අක්‍ෂි රෝහලේ නිරීක්‍ෂණ චාරිකාවකට පැමිණි අවස්‌ථාවේදීය. ඉන්දියාවේ හිටපු ජනාධිපති හා එරට කීර්තිමත් විද්‍යාඥයෙක්‌ වන ආචාර්ය අබ්දුල් කලාම් මහතා (20 වැනිදා) පස්‌වරුවේ ජාතික අක්‍ෂි රෝහල හා ජාතික අක්‍ෂි බැංකුවේ කටයුතු නිරීක්‍ෂණය කළේය. ජාතික අක්‍ෂි රෝහල ඉදිරිපිට දී තම ශ්‍රී ලංකා සංචාරය සිහිවීම පිණිස අඹ පැළයක්‌ රෝපණය කළ ඒ මහතා ජාතික අක්‍ෂි බැංකුවේ කටයුතු නිරීක්‍ෂණය කළේය.

ලෝකයේ අධි තාක්‍ෂණයෙන් යුත් නවීන අක්‍ෂි බැංකු තමන් දැක ඇතත් තමන් දුටු හොඳම අක්‍ෂි බැංකුව ශ්‍රී ලංකාවේ අක්‍ෂි බැංකුව බව ඒ මහතා ප්‍රකාශ කළේය. ලොව කිසිදු අක්‍ෂි බැංකුවකින් ජනතාව සඳහා නොමිලේ අක්‍ෂි කුණිත ලබා දෙන්නේ හෝ ඒවා බද්ධ කරන්නේ නැත. එහෙත් ශ්‍රී ලාංකික ජනතාව පුණ්‍ය කර්මයක්‌ වශයෙන් සලකා පරිත්‍යාග කරන අක්‍ෂි කුණිත ශ්‍රී ලංකාව තුළ පමණක්‌ නොව විදේශ රටවලට පවා නොමිලේ ලබා දෙන එකම රට ශ්‍රී ලංකාව බැව් කියා සිටි ඒ මහතා ශ්‍රී ලංකාවේ අක්‍ෂි බැංකුව ආසියානු මහද්වීපයට ආඩම්බරයක්‌ බව ද කියා සිටියේය.

එමෙන්ම තම සේවා කාලය තුළ ශ්‍රී ලංකාවේ දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන ජනතාව වෙනුවෙන් වසර කිහිපයක්‌ හෝ සේවය කරන ලෙස කලාම් මහතා ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්‌ කළේය. මෙම අවස්‌ථාවට කොළඹ ජාතික අක්‍ෂි රෝහලේ සියලුම වෛද්‍යවරුන් සහභාගි වී සිටි අතර තම සේවා කාලය තුළ වසර කිහිපයක්‌ හෝ ග්‍රාමීය ජනතාව වෙනුවෙන් සේවය කරන බවට ඔහු එම වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිඥවක්‌ද ලබා ගත්තේය.

මෙහිදී ඒ මහතා පිළිගැනීමේ කතාව කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා ආචාර්ය අබ්දුල් කලාම් මහතා දුක දිනා ජීවිතය ජයගත් ශ්‍රේෂ්ඨයෙක්‌ බව කියා සිටියේය. තම ජීවිත කාලය තුළ උපාධි 43 ක්‌ ලබා ගනිමින් ද ඉන්දියාවේ පෘථිවි හා අග්නි මිසයිල් පද්ධතිය ආරම්භ කිරීමේ නිර්මාතෘවරයා වශයෙන් ද කටයුතු කළ කලාම් මහතා කිසි දිනක නොදැක තිබුණ බහුතරයක්‌ ශ්‍රී ලාංකික ජනතාවගේ ආදරය දිනා ගත් ශ්‍රේෂ්ඨ බුද්ධිමතෙක්‌ බව ද ප්‍රකාශ කළේය.

මෙම අවස්‌ථාවට කොළඹ අක්‍ෂි රෝහලේ අධ්‍යක්‍ෂ සිසිර ලියනගේ, විශේෂඥ වෛද්‍ය චරිත් ෙµdන්සේකා යන මහත්වරුද සහභාගි වූහ.

divaina 2012.01.23

No comments:

Post a Comment