Monday, January 30, 2012

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සාමාජිකයන් හෙට විරෝධතාවට නැහැ - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

සන්ධ්‍යා කරුණාරත්න
හෙද ගැටලු විසඳීම සඳහා ලබන මස 8 වැනිදා දක්වා රජයට කල් දී ඇති නිසා හෙට (31) පැවැත්වෙන හෙද විරෝධතා ව්‍යාපාරයට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සාමාජිකයන් සහභාගි නොවන බව එම සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ දැනුම් දෙති.
හෙද සේවා ගැටලු කිහිපයක් පිළිබඳ ජනාධිපති මහින්ද රාජපක්ෂ හා සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහත්වරු සමඟ සාකච්ඡා පැවැත්වූ බවත් එම සාකච්ඡාවලින් පසුව කිසියම් සහනයක් හෙද හෙදියන්ට ලබාදෙනු ඇතැයි තම සංගමය බලාපොරොත්තු වන බවත් උන්වහන්සේ පැවැසූහ.
හෙද ඉල්ලීම් ලබන මස 8 වැනිදා තෙක් ලබාදීම සිදු නොකළොත් 10 වැනිදා රට පුරා රෝහල්වල හෙද හෙදියන්ගේ අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට සංගමයේ විධායක මණ්ඩලය තීරණය කර ඇත.
නව හෙද ව්‍යවස්ථාවෙන් හෙද කාර්ය මණ්ඩලයට ලබාදිය යුතු වසර 12 ක සේවාවෙන් පසු උසස්වීම් ඇතුළු විසමතා කිහිපයක් ඉවත් කරලීමටත්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගෙන නිල ඇඳුම් දීමනා හා අමතර සේවා දීමනා වැඩි කර ගැනීමටත් අවශ්‍ය පියවර වර්තමානය වන විට ගෙන ඇති බව ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
අදාළ චක්‍රලේඛ නිකුත් කිරීමෙන් පසු හෙද ගැටලුවලට කිසියම් විසඳුමක් ලබාදීමේ හැකියාවක් පවතින්නේ යැයි ද උන්වහන්සේ පැවැසූහ.
තම සංගමය දැනට ගෙන යන සාකච්ඡාවලින් ලැබෙන ප්‍රතිඵල දැන දැන ඒවා තම උද්ඝෝෂණය තුළින් ලබාගත් ඒවා යැයි ප්‍රචාරය කර හැරීමට ඇතැම් වෘත්තීය සමිති උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධානය කර ඇති බව ද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ප්‍රකාශ කරති.
ඒ නිසා තම වෘත්තීය සමිතිය කිසිම උද්ඝෝෂණයකට සහභාගි නොවන බවත් එම උද්ඝෝෂණ ව්‍යාපාරවලට තම සාමාජිකයන්ට සහභාගි නොවන ලෙසට දැනුම් දෙන බවත් උන්වහන්සේ පවසති.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය උද්ඝෝෂණවලින් තොරව සාකච්ඡා මඟින් දිනා ඇති ඉල්ලීම් ක්‍රියාත්මක කිරීමට අදාළ චක්‍රලේඛ සැකසෙමින් පවතින අවස්ථාවක වෙනත් වෘත්තීය සමිති උද්ඝෝෂණ පැවැත්වීමට කටයුතු කරන්නේ තමන් ලැබූ ජයග්‍රහණ සේ හෙද කාර්ය මණ්ඩලයට පෙන්වාදීමට බවත් බොරු උද්ඝෝෂණවලට තම සංගමයේ කිසිදු සාමාජිකයකු සහභාගි නොවන බවත් උන්වහන්සේ සඳහන් කරති.
රට පුරා පවතින හෙද සේවා හිඟය මඟ හැරීම සඳහා හෙද පුහුණුවට නව සිසුන් බඳවා ගන්නා ලෙසටත්, එම හෙද හිඟයට තාවකාලික විසඳුමක් ලෙස සේවයේ නියුතු හෙද කාර්ය මණ්ඩලයේ සේවා කාලය වසර 63 දක්වා දීර්ඝ කිරීමට හා විශ්‍රාම ගොස් ඇති හෙද නිලධාරින් නැවත සේවයට බඳවා ගැනීමට කටයුතු කරන ලෙසටත් තම සංගමය අමාත්‍යාංශයට කළ යෝජනා සැලකිල්ලට ගෙන ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බව ද උන්වහන්සේ දැනුම් දෙති.

Dinamina 2012/01/30

No comments:

Post a Comment