Thursday, January 19, 2012

රට තුළ රජයේ නොවන විශ්වවිද්‍යාල 71ක් කිසිවකු ඒවාට විරුද්ධ නැතැයි අ.වි.වි. ශිෂ්‍ය මධ්‍යස්ථානය කියයි

රජයට අයත් නොවන විශ්වවිද්‍යාල 71 ක් මේ රටේ ස්ථාපිත වනතුරු නිහඬව සිටි පාර්ශ්වයන් අද එම විශ්වවිද්‍යාල පනතට එරෙහිව උද්ඝෝෂණ පැවැත්වීම හාස්‍යයට කරුණක් බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය මධ්‍යස්ථානයේ කැඳවුම්කරු අසංක බුලේගොඩ මහතා පවසයි. එම පාර්ශ්වයන්ගේ අවශ්‍යතාව පෞද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධවීම නොව සරසවි සිසුන් තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට යටත් කර ගැනීම බවද හෙතෙම අවධාරණය කළේය.
1980 වසරේ සිට පෞද්ගලික විශ්වවිද්‍යාල රැසක් මේ රටේ ආරම්භ වූ බව පැවැසූ බුලේගොඩ මහතා මෙම ඊනියා ශිෂ්‍ය සංගම් ඒ වෙනුවෙන් කිසිම හඬක් නැගුවේ නැතැයිද කීවේය. මේ අවස්ථාවේ කිසිවකු හෝ පෞද්ගලික විශ්වවිද්‍යාල මේ රටේ ඇති කිරීමට විරුද්ධ වෙනවා නම් එය බුද්ධිමත් ශිෂ්‍ය ප්‍රජාව අමාරුවේ දැමීම වෙනුවෙන් කරන උත්සාහයක් යැයිද ඒ මහතා සඳහන් කළේය.ඊයේ (17) මහවැලි කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී බුලේගොඩ මහතා මේ අදහස් පළ කළේය.

හෙතෙම මෙසේද පැවැසීය.
මේ ඊනියා සංවිධාන උත්සාහ දරන්නේ සිසුන්ගේ අධ්‍යාපනය අවුල් කර දමා විවිධ සටන් පාඨ ඔස්සේ සිසුන් මහපාරට ඇද දැමීම සඳහායි. දැනටම පෞද්ගලික විශ්වවිද්‍යාල 71 ක් මේ රටේ ක්‍රියාත්මක වෙනවා. ඒවා කඩ කාමරවල, පෙට්‍රල් ෂෙඩ්වල වැනි අධ්‍යාපනයට උචිත නොවන තැන්වල පවත්වා ගෙන යනවා. නමුත් මේ එකක්වත් වසා දමන්න කියලා මේ ඊනියා ශිෂ්‍ය කණ්ඩායම් සටනක් ආරම්භ කළේ නැහැ. රටේ යුද්ධය නිම වු මේ අවස්ථාවේ නිදහස් අධ්‍යාපන අයිතීන් ආරක්ෂා කර ගෙන අපි ඉදිරියට යා යුතුයි. වසරකට උසස් පෙළට මුහුණ දෙන සිසුන්ගෙන් 22000 ක් පමණ විශ්වවිද්‍යාල වරම් ලබනවා.

මේ අතරින් සිසුන් බොහොමයක් උසස් අධ්‍යාපනය අයිතිය ඉල්ලා සිටියත් ඔවුන්ට විශ්වවිද්‍යාලවරම් ලැබෙන්නේ නැහැ. මුදල් තිබෙන සිසුන් විදේශ ෂශ්වවිද්‍යාලවලින් උපාධි ලබනවා. නමුත් අනෙක් පිරිස උසස් අධ්‍යාපනය ලබා උපාධියක් හිමිකර ගැනීමට නොහැකිව වද වෙනවා. මේ සිසුන්ගේ අධ්‍යාපන අයිතිය අපි නතර කළ යුතුද? දැනටමත් මේ පෞද්ගලික විශ්වවිද්‍යාලවල ආයතනවල සිසුන් 50000 ක් පමණ අධ්‍යාපනය ලබනවා. මේවා වහලා දැම්මොත් මේ සිසුන් 50000 ට මොකද වෙන්නේ.

ඒත් මෙතැන ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ගැන අන්තරේ හෝ වෙනත් ශිෂ්‍ය සංගමයක් අවධානය යොමුකර නැහැ. උපාධි ලබා ගැනීමට අපේ රටේ පිරිසක් සෑම වසරකදීම පිටරටට යනවා. ඒ නිසා රුපියල් මිලියන 99000 ක් වැනි මුදලක් අපට අහිමි වෙනවා. අපි ඒවා නතර කළ යුතු වෙනවා. පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීමෙන් ඒ දේ කරන්න බැහැ. ඒ විශ්වවිද්‍යාලවල පාඨමාලාවල ප්‍රමිතිය පිළිබඳව සොයා බැලිය යුතුයි. අධ්‍යාපන වටපිටාව ගැන සොයා බැලිය යුතුයි. පාඨමාලා උසස් තත්ත්වයට ගෙන ආ යුතුයි. එසේ නොමැතිව ඒ ආයතනවල අධ්‍යාපනය ලබන 50000 ක් එළියට ඇඳ දැමිය නොහැකියි.

අපි උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරනවා මේ සියලු විශ්වවිද්‍යාල ආයතන ප්‍රමිතිකරණයට ලක් කරන්න කියලා. මේ ආයතන ගැන සොයා බලන්න අමාත්‍යාංශයට හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවට හැකියාවක් නැති බව අපි දැන ගත්තා. ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම දැන් සිදුවී තිබෙනවා. මේ රටේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් විය යුතුයි. නමුත් අවිදිමත් ලෙස නොව විධිමත් ආකාරයට ඒ දේ සිදුවිය යුතුයි. මේ වනවිට රාජ්‍ය විශ්වවිද්‍යාල තුළත් ගැටලු තිබෙනවා. එසේ තිබියදී අන්තරේ ඇතුළු ඊනියා ශිෂ්‍ය සංවිධාන පෞද්ගලික විශ්වවිද්‍යාල පනත පිළිබඳව මුල්තැන දීම වැරදියි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා හා සිසුන් අතර ගැටුම් තිබුණා.
උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බලකරමින් සිසුන් ආරම්භ කළ උද්ඝෝෂණයට වෙනත් දේශපාලන න්‍යාය පත්‍රයක් ගෑවිලා. සිසුන් නොදැනුවත්වම ඒ පැත්තට හැරිලා. මේ ඊනියා ත්‍රස්තවාදී කණ්ඩායම් 2012 දී මේ රටේ තරුණ පරපුර වනසා දමන්නයි උත්සාහ ගන්නේ. මේ සඳහා එල්.ටී.ටී.ඊ. හිටපු සාමාජිකයන් යොදා ගන්න ඔවුන් පෙළඹිලා. බොරු සටන්පාඨවලට අධ්‍යාපනය පාවා දිය යුතු නැහැ. මේ සටන් පාඨ එළියට ගත්තේ නවකවදය ක්‍රියාත්මක වූ විශ්වවිද්‍යාලවලිනුයි. දැනටමත් මේ මුලාවට අසුවීම නිසා අපේ සිසුන් සියයට 15 ක් නිසිපරිදි අධ්‍යාපනය කටයුතු කර ගන්නේ නැහැ. පුස්තකාලය, පරිගණක විද්‍යාගාරය පාවිච්චි කරන්නේ නැහැ. ඉංග්‍රීසි දැනුම වර්ධනය කර ගන්නේ නෑ.
තමන්ගේ අයිතිය වෙනුවෙන් සටන් කළ යුතු බව ඇත්ත වුවත් බොරු දේවල්වලට අසුවී අධ්‍යාපන අවස්ථා අහිමිකර ගැනීමෙන් වළකින්නැයි සමස්ත සිසුන්ගෙන් ඉල්ලීමක් කරනවා. මෙම අවස්ථාවට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය මධ්‍යස්ථානයේ නියෝජිතවරු කිහිපදෙනෙකුද සහභාගී වූහ.

dinamina.lk

No comments:

Post a Comment