Wednesday, March 7, 2012

මහමෝදර ගැටලුව සෙවීමට විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් වැඩ බලන රෝහල් අධ්‍යක්ෂ තනතුරෙන් ඉවතට

සන්ධ්‍යා කරුණාරත්න සහ ගාල්ල දිසා සමූහ නන්දසිරි වැලිගමගේ

මහමෝදර මහ රෝහලේ නොමේරූ ළදරු ඒකකයට බැක්ටීරියාවක් ඇතුළු වීම නිසා පසුගියදා මතු වූ ගැටලුව පිළිබඳ සොයා බැලීමට පස්දෙනකුගෙන් යුත් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් එම රෝහලට ඊයේ (6) පිටත් කර හැරීමට වෛද්‍ය පර්යේෂණ ආයතනය පියවර ගෙන ඇත.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතාගේ උපදෙස් අනුව මේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම එම රෝහල වෙත යැවීමට කටයුතු කළ බව වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා ප්‍රකාශ කළේය.

ක්ෂුද්‍ර ජීවවේදි, වෛරස්වේදි, දිලීරවේදි, ඖෂධවේදි හා වෛද්‍යවේදි විශේෂඥ වෛද්‍යවරු මේ කණ්ඩායමට ඇතුළත් වෙති. මේ ඒකකයේ ආසාදනයක් තිබේද යන්න සොයාබලා ඉක්මණින්ම මූලික වාර්තාවක් ලබාදීම සඳහා එම වෛද්‍ය කණ්ඩායම කටයුතු කරනු ඇතැයි ද එහි පවතින නිදර්ශක අනුව මූලික වාර්තාව ලබාදීමට පැය 24 හෝ පැය 48 ක් ගත වනු ඇතැයි ද වෛද්‍ය සමරනායක මහතා කීය.

මහමෝදර මහ රෝහලේ ඇති වී තිබෙන මේ ගැටලුව බැක්ටීරියාවක් ආසාදනය වීමෙන්ම ඇති වූවක් ද යන්න නිර්දේශ කළ හැක්කේ මේ විශේෂඥ කණ්ඩායමේ පර්යේෂණ වාර්තා අනුව බව ද ඒ මහතා පැවැසීය. මේ අතර ගාල්ල මහමෝදර මහ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ ලෙස සේවය කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

එම තනතුර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ප්‍රියානි සේනාධීර මහත්මිය වැඩබැලීමේ පදනම මත පත් කර තිබේ. පසුගිය කාලය තුළ ගාල්ල මහමෝදර මහ රෝහලේ සිදු වූ සිද්ධීන් සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ තීරණය ගෙන ඇත. විශේෂයෙන්ම එම රෝහලේ විශේෂිත ළදරු ඒකකයට බැක්ටීරියාවක් ඇතුළු වීම නිසා ළදරු මරණ සිදු වූ බවට වාර්තා විය.

එම බැක්ටීරියාව හේතුවෙන් මරණයට පත්වී ඇත්තේ දැනට එක් ළදරුවකු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. පසුගිය මාසයේ 2 වැනිදා සිට මේ මස 3 වැනිදා දක්වා ළදරු මරණ 13 ක් වාර්තා වී ඇති බවත් එම මරණ සඳහා එම ඒකකයේ පැවැති බැක්ටීරියාව ප්‍රධාන හේතුව නොවන අතර දරුවන්ගේ විවිධ සංකූලතා ඊට හේතු වී ඇති බවත් අමාත්‍යාංශය පවසයි.

Dinamina 2012.03.07

No comments:

Post a Comment