Wednesday, March 7, 2012

සොයිසා රෝහලේදී බිරිඳ මියයැම සම්බන්ධයෙන් අපක්‍ෂපාතී පරීක්‍ෂණයක්‌ කරන්න - සැමියා ඉල්ලා සිටී

ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරන්න

කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදී සිය බිරිඳ මියයැම සම්බන්ධයෙන් අපක්‍ෂපාතී සාධාරණ පරීක්‍ෂණයක්‌ පවත්වන්නැයි කළුවාගේ ගාමිණී වසන්ත මහතා (34) පෙරේදා (05 වැනිදා) වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටියේය. ජනාධිපතිවරයාගේ ද අවධානය මේ වෙත යොමු කරන්නැයි ඔහු කරුණාවෙන් ඉල්ලා සිටී.

ඒ මහතා එම ඉල්ලීම කළේ කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂක උසාවියට පැමිණ සිටි අවස්‌ථාවේය.

ගාමිණී මහතා මාස හතක්‌ වයසැති තම වෙතුම් දෙව්මික අබේධීර නමැති සිඟිති පුතකු සමඟ පැමිණ සිටිනු දක්‌නට ලැබිණි.

මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස්‌ තිබුණේ නිට්‌ටඹුව, හොරගොල්ලවත්තේ පදිංචිව සිටි ගබ්බලගේ මධුෂානි නිසංසලා නමැති 27 හැවිරිදි එක්‌දරු මවකි.

මෙහිදී මාධ්‍ය අමතමින් කතා කළ ගාමිණී මහතා මෙසේ පැවැසීය.

"මියගොස්‌ සිටින්නේ මගේ බිරිඳ. අපි විවාහ වෙලා අවුරුදු අටක්‌ වෙනවා. මගේ බිරිඳට දරුවා ලැබීමට 2011 ජුලි මස 20 වැනිදා දින ලබාදී තිබුණා. දරුවා ලැබීමට ප්‍රමාදවීම නිසා ඇයට සිසේරියන් සැත්කමක්‌ සිදු කළා. ඒ සැත්කමෙන් පසුව බිරිඳට උණ හැදුණා. පසුව ඇයට දෙවැනි සැත්කමත් කළා. ඉන් අනතුරුව ඇය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබුවා.

බිරිඳගේ බඩ ඉදිමී ලේ බඩ යන්නට වුණා. එලෙස දොළොස්‌ පාරක්‌ විතර ගියා. පසුව පෞද්ගලික රෝහලකදී රුපියල් 1,085 ක්‌ ගෙවා වෛද්‍ය රුවන් පතිරණ මහතා මා හමුවුණා. ඒ අවස්‌ථාවේ බිරිඳ සොයිසා කාන්තා රෝහලේ සිටියා.

මගේ බිරිඳ බේරා දෙන්න කියලා මා වෛද්‍යවරයාගෙන් ඉල්ලා සිටියා.

කොහොම වුණත් දැන් මගේ බිරිඳ මිය ගිහින්. මමයි, දරුවයි දැන් තනිවෙලා. දරුවාට මාස හතයි. ඔහු බලා ගත්තේ කඩුවෙල ඉන්න මගේ නංගි. මම කියන්නේ මගේ බිරිඳගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ පරීක්‍ෂණයක්‌ පවත්වන්න කියලයි. මේ ගැන ජනාධිපතිතුමාගේ අවධානය යොමුවෙයි කියලා මා සිතනවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

Divaina 2012.03.07

No comments:

Post a Comment