Wednesday, March 7, 2012

රජයේ රෝහල්වල ප්‍රමිතිය ගැන හෝ ඒවාට නිසි ඖෂධ ලබාදීමට ආණ්‌ඩුවට ඕනෑකමක්‌ නෑ - සජිත් ප්‍රේමදාස

රජයේ රෝහල් නිසි ප්‍රමිතියෙන් යුතුව පවත්වාගෙන යැමට හෝ ඒවාට නිසි ප්‍රමිතියෙන් යුතු ඖෂධ ලබාදීමට ආණ්‌ඩුවට කිසිදු ඕනෑකමක්‌ නැති බව එක්‌සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ප්‍රවෘත්ති නිවේදනයක්‌ නිකුත් කරමින් ප්‍රේමදාස මහතා මෙසේ ද පවසයි.

ආණ්‌ඩුව සිය පාලන කාලයේදී 7 වන වසර සපුරමින් ද, යුද්ධය නිමාකොට 3 වන වසර නිම කරමින් ද සිටිද්දී ආශ්චර්යයෙන් සපිරි සුබ අනාගතයක්‌ ප්‍රාර්ථනා කළ ජනතාව කිරුළු පළඳවා සිහසුනේ හිඳවීම කෙසේ වෙතත් විදුලි පුටුවකට ඇද දැමීමට තරම් බොහෝ කරුණු පෙළගැසෙමින් තිබේ.

මෙහි අලුත්ම ඛේදවාචකය නම් දින කීපයදී ගාල්ල මහමෝදර මහරෝහලේදී ප්‍රසූත කළ දරුවන් 10 දෙනකුම "ක්‌ලෙප්සියෙල්ලා" නමැති මාරාන්තික බැක්‌ටීරියාවකින් ඉතා අවාසනාවන්ත ලෙස මියයැමයි. ගත වූ මාස 3 ක කාලය තුළ එකී බැක්‌ටීරියාව හේතුවෙන් මෙම රෝහලේදී ම මියගොස්‌ ඇති බිලිඳුන්ගේ ගණන 20 ඉක්‌මවයි. නිරෝගී ගැබිනි මවුවරුන් විසින් ප්‍රසූත කළ දරුවන් මෙතරම් සංඛ්‍යාවක්‌ කෙටි කාලයකදී මෙසේ එකම රෝහලකදී මියයැම සුළු කොට තැකිය හැක්‌කක්‌ නොවේ. මින් සනාථ වන්නේ මෙරට සොඛ්‍ය සේවාවන් පිළිබඳ නැවතත් ඉතා බරපතළ ගැටලු මතුවී ඇති බවයි.

දරු ප්‍රසූතිය සඳහා කොළඹ සොයිසා රෝහලට ඇතුළත් කළ ගැබිනි මවක්‌ දරු ප්‍රසූතියෙන් අනතුරුව මියයැමට ආසන්නතම හේතුව ඇයට ලබාදී තිබුණු ඖෂධයක්‌ නිසි ප්‍රමිතියෙන් තොර වීමය. මේ බව අදාළ රෝහල් බලධාරීන් විසින් ද තහවුරු කර ඇත. මේ සියලු සිද්ධීන්ගෙන් පැහැදිලි වන්නේ අතමිට යහමින් මුදල් නොමැති දුප්පත් හා මධ්‍යම පංතියේ ජනතාව වෙනුවෙන් නිදහස්‌ සෞඛ්‍ය සේවාවක්‌ ක්‍රියාත්මක වන රජයේ රෝහල් නිසි ප්‍රමිතියෙන් යුතුව පවත්වාගෙන යැමට හෝ ඒවාට නිසි ප්‍රමිතියේ ඖෂධ ලබාදීමට ආණ්‌ඩුවට කිසිදු ඕනෑකමක්‌ නැති බවය.

මේ දිනවල රටේ පවතින දැවෙන ප්‍රශ්න පිළිබඳ ජනතා අවධානය යොමුවීම වළක්‌වාලනු ලබන්නේ ජිනීවා අර්බුදය පිළිබඳ තොරතුරු හුවාදක්‌වමිනි. අප ආණ්‌ඩුවට නැවත නැවතත් ඉතා ඕනෑකමින් යුතුව දන්වා සිටින්නේ එකම තැනක එල්ලී නොසිට ජනතාවගේ සැබෑ ප්‍රශ්න හඳුනාගෙන ඒවාට කඩිනමින් විසඳුම් ලබාදීම සඳහා මීට වඩා ප්‍රමුඛතාවක්‌ ලබාදෙන ලෙසය.

Divaina 2012.03.07

No comments:

Post a Comment